Menu
Contact us
×
Thursday, September 19th, 2024
රනිල් නැත්තම් රට ඉවරයි; මිනිස්සු රටෙන් යාවි - බන්දුල

“පුළුවන්  ශ්‍රී ලංකා සංකල්පය” යටතේ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කඩුවෙල කොරතොට, හෝමාගම වෑතර සමගි මාවත, පොල්ගස්ඕවිට, හෙරලියාවල, පහළගම දේරුක්උන්න  යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී බන්දුල ගුණවර්ධන මෙසේ පැවසීය:

“මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු නිවාස, ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු  කළ කාලය තුළ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ඔහු යටතේ පැවැතුණා. ඒ වන විට ඉදිකිරීම් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ කටයුතු රාශියක් එම ආයතනයෙන් සිදු කරනු ලැබුවා. ඉංජිනේරුවන් විශාල පිරිසක් එහි සේවය කරනු ලබනවා. එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවා. හම්බන්තොට සිට බස්වලින් ගෙනැවිත් විශාල පිරිසක් මේ ආයතනයට සේවකයින් ලෙස බඳවා ගත්තා. එලෙස බඳවා ගත් පිරිස් සේවයෙන් ඉවත් කිරීමට බැහැ. ආයතනය සතු ඉඩම් උකස් කර මුදල් ලබාගෙන තිබෙනවා. දැන් මෙම ආයතනයේ ඉංජිනේරුවන්ට වැටුප් ගෙවීමටවත් හැකියාවක් නැහැ. මේ තත්ත්වය මම කැබිනට් මණ්ඩලයට පෙන්වා දීමෙන් අනතුරුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සියලු වත්කම් සහ වගකීම් මාර්ග සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමෙන් අනතුරුව වැටුප් ගෙවීමට කටයුතු කර තිබෙනවා. ඒ ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබෙනවා.

 මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමහර අපේක්ෂකයන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත්, අමාත්‍යවරයකු ලෙසත් කටයුතු කර තිබෙනවා. නමුත් ඔවුන් රටේ උපනූපන් පරම්පරාව වෙනුවෙන් සිදු කළ කිසිවක් නැහැ. අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එලෙස කිසිදු සේවයක් සිදු නොකල පිරිසක්.

අමාත්‍යාංශ රාශියක කටයුතු කරමින් අමාත්‍යවරයෙකු ලෙසත් අග්‍රාමාත්‍යවරයෙකු ලෙසත් රනිල් වික්‍රමසිංහ රටට ඉතිරි කළ යමක් තිබෙනවා.

 රටේ පවතින මැතිවරණයය හේතුවෙන් බොහෝ දෙනා පසු වන්නේ අවිනිශ්චිත තත්ත්වයක. පෙට්ටි කඩයක් තිබෙන කෙනා, නිවසක් තිබෙන කෙනා, බයිසිකලයක් තිබෙන කෙනා, මේ හැම අයෙකුම බියෙන් පසුවනවා. 89 සහ 2022 භීෂණය අත්දැකීමෙන් අනතුරුව වැරදීමකින් හෝ රනිල් වික්‍රමසිංහ නොමැති ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අපි කිසිවෙකුටත් මේ රටේ ඉන්නට ලැබේදැයි බොහෝ දෙනා බියෙන් පසුවනවා. මේ තත්ත්වය මත සැප්තැම්බර් 21 වැනි දින ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගනු ඇති බව මා විශ්වාස කරනවා. “

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos