Menu
Contact us
×
Thursday, September 19th, 2024
ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේම මහජනතාව තුළ බිය නිර්මාණය කිරීමයි - මහාචාර්ය අනිල් ජයන්ත

හිතාමතාම ලංකාවේ ආර්ථිකය විනාශ කර මහජනතාවගේ ජීවිත උදුරා ගත් අය දැන් අසත්‍ය ප්‍රචාර යවමින් සිටින බවත්

ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේම මහජනතාව තුළ බිය නිර්මාණය කර මහජනතාව රවටා බලය අත්පත් කර ගැනීම බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත පවසයි.

 

 

ඊයේ පැවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පලකර ඇත.

 

 

“එළැඹෙන 21 වැනිදා ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයක් පවත්වන බව අපි කවුරුත් දන්නවා. මේ වන තුරු දූෂිත සහ වංචාකාරී පාලන තන්ත්‍රයක් ගෙන ගිය පිරිසගෙන් මහජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා.

 

ඒ සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ පිරිස් කලබල වී මහජනතාව අතරේ අසත්‍ය, විකෘති කරුණු බොහොමයක් ප්‍රචාරය කරමින්, අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අවදානමක් ඇති වේවි යැයි විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. හිතාමතාම ආර්ථිකය විනාශ කර මහජනතාවගේ ජීවිත උදුරා ගත් අය දැන් අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේම මහජනතාව තුළ බිය නිර්මාණය කර මහජනතාව රවටා බලය අත්පත් කර ගැනීමයි.

 

ඒ හමුවේ ඉවසීමෙන් සහ අනවශ්‍ය කලබලවලින් තොරව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

 

වෙළෙඳපොළ ආර්ථිකය තුළ භාණ්ඩ හිඟයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. මහජනතාවගේ ජීවිත මෙයට වඩා පහසු කරන්න වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ සැලසුම් අප සකස් කර තිබෙනවා. ඇතැම් කණ්ඩායම් හිතාමතා නිර්මාණය කරන වාර්තා, ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය කරන බව අවධාරණය කරනවා.

 

 

බ්ලූම්බර්ග් ආයතනය හෙළි කර තිබෙන ආකාරයට භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී යම් කිසි චලනයක් ඕනෑම රටක මැතිවරණ පවත්වන අවස්ථාවල දී සිදු වෙනවා. ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළත් මේ බිය නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත්, ඒ සියල්ල ඒකාබද්ධ කර කටයුතු කරන්නේ කොහොමද කියලා ඡන්දයට සතියක් පමණ තිබියෙදී සනාථ කර තිබෙනවා. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සහ ආයෝජන සිදු කරන්නේ කොහොමද කියලා ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් හමුවේ පවත්වන සමුළුවල දී අපි පැහැදිලි කර දී තිබෙනවා.

 

 

ආණ්ඩුව සහ විපක්‍ෂය ලෙස සිටින අපට විරුද්ධව වැඩ කරන කණ්ඩායම් මඩ, අවලාදවලට අමතරව වෙනත් විවිධ ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා. වාහන ආනයන තහනම ලිහිල් කරන බවට හදිසි ප්‍රවෘත්තියක් ආවා. ඒ වෙනුවෙන් කැබිනට් තීරණයක් ගත් බවත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති බවට බොරු ගොඩක් කියමින් යනවා. අපේ විදේශ වෙළෙඳ පංගුව වැඩි කර ගැනීම ප්‍රධානම අරමුණයි. ඒ වෙනුවෙන් විදේශ වෙළෙඳ ගිවිසුම්වල වර්තමාන තත්වය සමාලෝචනය කර නැවත අලුත් කර ගැනීමත්, ඒ වාගේම අලුතින් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමත් සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

 

ඒ වාගේම ජාතික ජන බලවේගයේ බජට් එක ගැන සංඛ්‍යාලේඛනත් කියන්න පටන්ගෙන තිබෙනවා. අපි ආණ්ඩුව පත් කර ගත්තාට පස්සේ රජයේ අයවැය දෙපාර්තමේන්තුව සමඟ එක් වී අයවැය ලේඛනය සකස් කරනවා. ඊළඟ වර්ෂයට අදාළ මූලික කෙටුම් පත් අයවැය දෙපාර්තමේන්තුවෙන් සකස් කරමින් සිටිනවා.

 

 

නමුත්, රනිල් වික්‍රමසිංහට විශේෂ හැකියාවක් ලැබී තිබෙනවා, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දාන කොටම අපට අදාළ අයවැයකුත් හදන්න. ඒ වාගේම අයි.එම්.එෆ්. එක සම්බන්ධයෙනුත් අපේ මූලික ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් කීවේ, සමහර කොන්දේසි පිළිබඳව සාකච්ඡා මඟින් එකඟතාවකට එන බවයි. ඒ අවස්ථාවේ දී අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම  පවා කළ නොහැකි යැයි බිල්ලෙක් මැව්වා. ඊට පසුව ඔවුන් අදාළ වෙනස්කම් සිදු කරන බව ප්‍රකාශ කළා. ඒ අතර ඊයේ 12 වැනිදා මේ මොහොතේ බලයේ සිටින ආණ්ඩුවක් සමඟ නොව අලුතින් පත් වන ආණ්ඩුවක් සමඟ නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

 

 

බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයට අයත් නොවුණත්, තවත් පැත්තකින් ඔවුන්ම තිර රචනා කරලා, අධ්‍යක්‍ෂණය කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳව සිද්ධි නිර්මාණය කිරීම ගැන දැනටමත් තැන් තැන්වලින් වාර්තා වෙනවා. කවරදාකවත් නොතිබුණු ආකාරයේ මඩ, අවලාද මෙන්ම යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරි සතිය තුළ දී සිදු කළ හැකියි. නමුත්, ඒ කිසිවකට හසු නොවී හික්මීමෙන්, විනයගරුකව කටයුතු කරන ලෙස අපි ජනතාව අවධාරණය කරනවා.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos