Menu
Contact us
×
Thursday, September 19th, 2024
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඉල්ලයි

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බවට එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දු වී තිබෙනවා. මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේදී ඩොලර් මිලියන 750 ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේදී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කර තිබේ.

ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති හමුවේදී ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සාර්ථකත්වය තුළින් අභියෝග හමුවේ ජයගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව මැනවින් පෙන්නුම් කරන බව කෙනිචි යෝකෝයාමා මහතා සඳහන් කරනු ලැබීය.

සමස්ත රාජ්‍ය සේවාවත් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශත් එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනය රජයේ අභිප්‍රාය බවත් ඒ සඳහා සූර්ය හා සුළං මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. කාබනික පොහොර භාවිතය සඳහාද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාමීය ජනතාවගෙන් 90% ක් වන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලි පිරිසගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාව බව සහ ආර්ථිකමය වශයෙන් ඵලදායී වගාවන් මගින් වන ආවරණය වැඩි කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos