Menu
Contact us
×
Thursday, September 19th, 2024
මාලිමාවේ ප්‍රතිපත්තිය වෙළඳපොල ආර්ථිකය ද? සමාජවාදය ද? - චම්පික

අවසාන මොහොත දක්වා රනිල් වික්‍රමසිංහ පාර්ශවයට සහාය දීමට පෙරුම් පුරමින්, සජිත් ප්‍රේමදාස විවේචනය කරමින් සිටි සිටි චම්පික රණවක අවසානයේදී සජිත් පාර්ශවයට එක්වන්නේ සජිත් පාර්ශවයෙන් කොටසක් කඩා ගැනීම සඳහා රනිල් පාර්ශවය අසමත් වූ බැවිනි. නමුත් ඔහු සමග සිටි ශිරාල් ලක්තිලක රනිල් පාර්ශවයට සහාය දක්වමින් සිටී.

පහතින් දක්වා ඇත්තේ ‘ජාතික ජන බලවේගයේ ඇස්බැන්දුම් ප්‍රකාශනය’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී ඔහු පල කල අදහසකි.

“ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කොට තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවෙයි මැතිවරණ ප්‍රකාශනයක් පමණයි. මේ ලියවිල්ල ක්‍රමයේ වෙනසක් පතා කියලා ඉදිරිපත් කළාට ඒ ක්‍රමයේ වෙනස සඳහා භාවිතා කරන ඔවුන්ගේ දර්ශනය මොකක්ද? ඒ දර්ශනය වෙළෙඳපොළ ආර්ථිකය මත පදනම් වෙච්ච එකක්ද? සමාජවාදී ආර්ථිකය මත පදනම් වෙච්ච එකක් ද? ප්‍රායෝගිකවාදී දර්ශනයක් ද? එහෙමත් නැත්නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක්ද? මේ කිසිවක් දාර්ශනික ක්‍රියාවලියේ කිසිවක් ප්‍රකාශ කරලා නෑ මීට පෙර ඔවුන් දූෂිත යැයි කියාගන්නා බොහෝ දේශපාලන පක්ෂත් ඔවුනුත් ඉදිරිපත් කරලා තියෙන මැතිවරණ ප්‍රකාශනවලට බොහොම සමාන ප්‍රකාශනයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ.”

ණය තිරසරකරණය ගැන එහි එකඟතාවක් නෑ. තමන් ඉන් වෙනස් වන්නේ කොතනින්ද, ඊට යොදාගන්නා නිර්ණායකය කුමක්ද යන්න ජාජබ හෙළි කළ යුතුයි. ජාතික ජන බලවේගයේ විශ්ලේෂණය එක්ක තමන් එකඟ ද යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව යුතුයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතා ලියවිල්ලක් අත්සන් කරලා තියෙනවා. ඒ එකඟතා ලියවිල්ලට පදනම් වෙලා තියෙන්නේ ණය තිරසරභාවය පිළිබඳ තියෙන විශ්ලේෂණය. මේක මත පදනම් වෙලා තමයි යම් යම් ඉලක්ක ආණ්ඩුවට ලබාදීලා තියෙන්නේ. දැන් ඒක ඇත්තටම ආර්ථික පරිවර්තන පනත නමින් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ගෙනවිල්ලා ඒක රටේ නීතියක් බවටත් පත් කරලා තියෙනවා. ඒකේ පදනම තමයි අර ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය, ජනාධිපතිවරණයෙන් පස්සේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ කොටස අපට ලබා දීම සඳහා වන කොන්දේසි ගණනාවක් ඉටු කළ යුතුව තියෙනවා. ඒක දෙසැම්බර් මාසයේ ලබාගත යුතුයි. ඒක දෙසැම්බර් මාසයේ ලබාගන්නට නම්, ගන්නට අපි කොන්දේසි ඉටු කළා නම්, අපට ලෝක හා ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් මුදලක් ලැබෙන්න නියමිතයි. ඒ මුදල් එක්ක තමයි මේ අයවැය අපි සකස් කරලා තියෙන්නේ. මෙච්චරයි අපේ ආදායම. මෙච්චරයි අපේ වියදම කියලා. මේ අයවැය තුලනය කරලා තියෙන්නේ. එතකොට අයවැය තුලනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් වහාම රටට උදා වෙනවා. ඒ නිසා වහාම මූල්‍ය අරමුදල එක්ක හෝ තමන්ගේ ආර්ථික විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා, ඔය ආර්ථික කමිටුවත් එක්ක සාකච්ඡා කරලා මේ ණය, තිරසරභාවය, විශ්ලේෂණයෙන් තමන් වියෝ වන්නේ, ඒ වගේම අපගමනය වෙන්නේ කොතනින්ද කියන එක ගැන, රටට වහාම හෙළි කළ යුතුයි. ඒ හෙළි කිරීමත් එක්කම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට කියන්න ඕනේ, මේ ජනතා විමුක්ති පෙරමුණේ, නොහොත් ජාතික ජන බලවේගයේ විශ්ලේෂණය එක්ක, ඔවුන් එකඟද? නැද්ද? කියලා. මොකද ඒක මේ රටේම ඉරණම, ඊළඟ මාස තුනේදී විතරක් නෙවෙයි, ඊළඟ දශක දෙකේ තීරණය වෙන්න නියමිත නිසා.

ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, පාර්ලිමේන්තු ක්‍රමය ඇති කරන බවත් නව මැතිවරණ ක්‍රමයක් බිහිකරන බවත්, කිව්වට මේ රටේ මේ විශාල වශයෙන් ප්‍රශ්නගත වෙලා තියෙන පළාත් සභා ක්‍රමය ගැන කිසිම වචනයක් ප්‍රකාශ කරලා නෑ. බලය බෙදීමක් එහෙම නැත්නම් පරිපාලන විමධ්‍යගත කිරීමක් හඳුන්වලා දෙනවා නම් ඒ කවර ආකාරයේ එකක්ද කියන එක ගැන කිසිම සඳහනක් නෑ.

අපි එක්තරා කාලයක මේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා LRT ගේනකොට ඒවට විරුද්ධව ගල් පෙරලපු, ඒවා උපහාසයට ලක් කරපු, එක පැත්තකට විතරයි මේවා යන්නේ. ලෝකයේ ගිනස් පොතට එක්කහු වෙන්න ඕනේ කියලා එහෙම විහිළු තහළු කරපු, ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගයේ අය තමන්ගේ ප්‍රතිපත්තිය බවට ප්‍රකාශ කර කරලා තියෙනවා. හෝමාගම තාක්ෂණ නගරයට විශාල විරෝධයක් කරපු ජනතා විමුක්ති පෙරමුණම තාක්ෂණික උද්‍යාන බිහි කරන්න යනවා. ඔවුන්ට බුද්ධිය පහළ වීම ගැන සතුටුයි. දැන් ඒක ගිනස් පොතට යා යුතුයි.

තොරතුරු තාක්ෂණය පමණක් නොවේ නැනෝ තාක්ෂණ, ජීව තාක්ෂණ, ජාන තාක්ෂණ, රොබෝ තාක්ෂණ, මේ වගේ ගොඩාක් දේවල් සඳහා තමයි හෝමාගම, මාතර, පේරාදෙණියේ, කිලිනොච්චියේ තාක්ෂණ නගර හතරක් යෝජනා කළේ. මේකෙන් හෝමාගම එක විතරයි අපි නිර්මාණය කරන්න මැදිහත් වුණේ. ඒකට විශාල විරෝධතාවයක් ගොඩනැගුවා. දැන් ඒගොල්ලොම යෝජනා කරලා තියෙනවා බස්නාහිර, දකුණු ආදී පළාත්වල තාක්ෂණ උද් යාන බිහි කරන්න යනවා ඒගොල්ලන්ගේ පාලනයක් යටතේ කියලා. බොහෝ කාලෙකට පස්සේ, අවුරුදු දහයක, අවුරුදු දහයකට අඩු කාලයක් ඇතුළත, තමන්ට මේ පිළිබඳ බුද්ධිය පහළ වීම ගැන අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිට ඊට වඩා දුරදක්නා භාවයක් මේ රටේ නවෝත්පාදනය ගැන, මේ රටේ නවෝත්පාදනය පිළිබඳ ජාතික සැලැස්ම, නවෝත්පාදන ආයෝජන සැලැස්ම, අපි ඉදිරිපත් කළේ මීට අවුරුදු දහයකටත් කලින්, 2013 දී. දැන් මේ 2024 දී තමයි, ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගෙට ඒක මතක් වෙලා තියෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා, රාජ්‍ය ආදායම් ඉහළ නංවන්නේ කොහොමද කියන එකට සාම්ප්‍රදායික උත්තර ඇරෙන්න, ඒ කියන්නේ තව කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, නීති පද්ධති සකස් කිරීම, වැනි දෑ වලට අමතරව, වෙනත් කිසිම අතිරේක යෝජනාවක් ඉදිරිපත් වෙලා නෑ. මේ කණ්ඩායම මොකක්ද කියන එක ගැන අපට විධිමත් භාවයක් පේන්න නැහැ. රටේ ප්‍රබල මූල්‍ය, බලශක්ති, ප්‍රවාහන, වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉන්න කණ්ඩායම මොකක්ද කියන එක ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. කොටින්ම දිනුවොත් භාරකාර ඇමති මණ්ඩලයක් පවත්වගෙන යන්නේ කොහොමද කියන එකවත් පාර්ලිමේන්තුවේ එතුමන්ලාගේ තුන්දෙනයි. අනුර දිසානායක මහත්තයා ජනාධිපති වුනොත් තව එක්කෙනෙක් එනවා හතර දෙනයි. ඇරෙන්න වෙන කිසිම උත්තරයක් ලබා දීලා නෑ. ඉතින් ඒක නිසා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ අවිනිශ්චිත තත්වයක් තමයි මේ තුලින් මතු කරලා තියෙන්නේ."


MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos