Menu
Contact us
×
Wednesday, September 18th, 2024
සමූල ඝාතනය කල ජන කොට්ටාශයක අවසන් මිනිසා
තනිපංගලමේ නික්ම ගිය
--------------------------------------------------------------
ලෝකයේ ජීවත් වූ හුදකලාම මිනිසා මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බ්රසීල ආදිවාසී ප්රජාවක අවසාන සාමාජිකයායි.
නීති විරෝධී දැව කපන්නන් හා පතල්කරුවන් විසින් ඔහුගේ ගෝත්රයේ අනෙකුත් සාමාජිකයන් සියළු දෙනා මරා දමීමෙන් පසු ඇමේසන් වනාන්තරය තුළ වසර 26ක් තිස්සේ ඔහු තනිවම ජීවත් වුණා. තම සනුහරයම ඝාතනය කිරමෙන් ඇති වූ කම්පනය නිසා ඔහු මිනිස් වාසය තදින් ප්රතික්ෂේප කළා.
තමන් සමඟ සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දැරූ සියල්ලන්ට ඔහු පිළිතුරු දුන්නේ දුනු ඊතලවලිනුයි.ඒ තරමටම මොහු මිනිස් ආශ්රය පිළිකුල් කර තිබෙනවා.
නමක් නො දන්නා මේ මිනිසාව බොහෝ දෙනා හැඳින්වූයේ Man of the hole (කුහරයේ මිනිසා)යන අනවර්ථ නාමයෙන්. ඔහු විසින් සෑදූ ගැඹුරු වළවල් වනාන්තරයට ඉහළින් ගුවනට දිස්වන නිසා ඔහුට ඒ නම ලැබී ඇති බව සිතන්නට පුළුවන්. මේ වළවල් විටෙක සතුන් දඩයම් කිරීමටත්, තවත් විටෙක සැඟවීමටත් භාවිත කළ බව පැවසෙනවා.
අගෝස්තු 23 වැනිදා උදෑසන ඔහුගේ පිදුරු සෙවිළි කළ පැල්පතෙන් එපිට තිබී මළ සිරුර හමු වී තිබෙනවා. මළසිරුරේ කිසිදු තුවාළයක් දක්නට නොමැති අතර ස්වාභාවික මරණයක් ඔහුට හිමිව තිබුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60 බව ගණන් බලා තිබෙනවා.
මොහු බොලිවියාවට මායිම්ව ඇති රොන්ඩෝනියා ප්රාන්තයේ ටනාරු ආදිවාසී ගෝත්රයට අයත් වූ අවසාන පුද්ගලයා ලෙස සැළකෙනවා. ඔහුගේ මරණය හේතුවෙන් ටනාරු ගෝත්රය දැන් සමූල ඝාතනයට (Genocide) ලක් වූ ජන කොටසක් ලෙස සැළකිය හැකියි.
1970 ගණන්වලදී ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ඔහුගේ ගෝත්රයේ බහුතරයක් මරා දමා තිබුණා. ඉන් පසුව 1995 දී නීතිවිරෝධී පතල් කරුවන් විසින් එල්ල කළ ප්රහාරයකින් ගෝත්රයේ ඉතිරි සාමාජිකයන් හය දෙනෙකු මිය ගියා. ඒ අනුව මෙකී නමක් නැති මිනිසා ගෝත්රයෙන් ඉතිරි වූ එකම පුද්ගලයා බවට පත් වුණා.
ඔහු ජීවත්වන බව බ්රසීලයේ ආදිවාසී කටයුතු ඒජන්සිය (Funai) දැනගත්තේ 1996 දී. එතැන් පටන් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඒජන්සිය විසින් ප්රදේශය තුළ නිරන්තරව නිරීක්ෂණ කටයුතු කළා.

සිරුර සොයා ගැනීමට දින 50කට පමණ පෙර මොහු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මිය යෑමට ආසන්න බව දැන ගත් මේ හුදකලා මිනිසා මැකෝ පිහාටුවළින් පුරවන ලද එළිමහන් තොටිල්ලක සැතපී තිබෙන බව පෙනී යනවා. කාත් කවුරුවත් නැති ලෝකයක තනි වූ ඔහු සුව පහසු මරණයක් බලාපොරොත්තුවෙන් එසේ සිටි බව කිව හැකියි.
උපුටාගැනීමකි.