Menu
Contact us
×
Wednesday, September 18th, 2024
රනිල්ගේ අරමුණ නැවතත් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය නගා සිටුවීමයි

“දේශයේ අනාගතය ගොඩනැංවීම” යන තේමාව යටතේ ව්‍යාපාරික හමුවක ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න විසින් සිදු කරනු ලැබීය.

රනිල් වික්‍රමසිංහගේ දේශනය තුලින් ප්‍රකට වූ ප්‍රධාන කරණය වූයේ නැවතත් ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය නගා සිටුවිය යුතුව ඇති බවය. 2009 සිට 2019 දක්වා කාලය තුල රටේ ප්‍රධානතම රැකියා උත්පාදක ක්ෂේස්ත්‍රය වූයේ ඉදිකිරීම් බුබුලයි. එය ක්‍රියාත්මක වූයේ ණය ආර්ථිකයක් තුලය. අවසානයේ එය පුපුරා යාමෙන් රට දැවැන්ත ආර්ථික අර්බුධයක් වෙත තල්ලු විය. රනිල් වික්‍රමසිංහගේ අරමුණ වී ඇත්තේ ණය ආර්ථිකයක් තුලින් ක්‍රියාත්මක වූ ඉදිකිරීම් ක්ෂේස්ත්‍රය රටේ ඉඩම්, වන සම්පත්, ඇතුළු විකිණිය හැකි සියල්ල විකුණා නැවත ආරම්භ කිරීම බව පෙනෙන්ට තිබේ.

රට ඉදිරියට ගෙන යාමේදී ඉදිකිරීම් හා සංවර්ධන ක්ෂේත්‍රයට වැදගත් කාර්යභාරයක් පැවරෙන බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආර්ථික අර්බුදය හමුවේ විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති අතරමග නැවතීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල වුවත්, බැංකු සහන ලබාදීම සහ ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට සිදු කළ යුතුව තිබූ ගෙවීම් පියවීම වැනි ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පිරිස් මත පැටවී ඇති බර ලිහිල් කිරීමට රජය පියවර ගත් බවද සිහිපත් කළේය.

දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරමින් දෙස්, විදෙස් නව ආයෝජන ආකර්ශනය කර ගන්නා විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද වර්ධනයක් සිදු වන බවත්,  ගාල්ල, මහනුවර, කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරක හෝටල් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම, බිංගිරිය, යාපනය සහ හම්බන්තොට නව ආයෝජන කලාප ආරම්භ කිරීම සහ මහ නගර සංවර්ධන සැලැස්ම යටතේ කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශ සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳවත් ජනාධිපතිවරයා විසින් නියෝජිතයන් දැනුවත් කළේය.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රක්ෂයෙන් කොටසක්:

"ඔබ අද මෙහි රැස්ව සිටින්නේ අපගේ ආර්ථිකයේ තීරණාත්මක කොටසක් නියෝජනය කරන සහ ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂේත්‍රයක් වන ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවල යෙදී සිටින පිරිස ලෙසයි.

අප මුහුණ දී ඇත්තේ එක් අර්බුදයකට පමණක් නොවයි. අප අර්බුද දෙකකට මුහුණ දුන් බව මතක තබා ගත යුතුයි. පළමුව, අප කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූ අතර, ඉන් පසුව ඇති වූ ආර්ථික කඩා වැටීමට ද ගොදුරුවුණා. මෙම සිදුවීම් එකිනෙකට සම්බන්ධයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුල සමඟ එළැඹ සිටි ගිවිසුම්වලට පටහැනිව සිදු කළ බදු අඩු කිරීම් වැනි කොවිඩ් වසංගතයට පෙර අප ගත් මූල්‍ය ක්‍රියාමාර්ග වැනි හේතුන් ආදායම අඩු වීමට බලපෑවා. එම තත්ත්වය හමුවේ අපගේ අභියෝග තවදුරටත් සංකීර්ණ වුණා.

මෙවැනි තත්ත්වයක් කරා රට ගමන් කරන විට අප අනතුරු ඇඟවූවා.අවාසනාවකට මෙම අනතුරු ඇගවීම දුටුවේ කිහිප දෙනෙක් පමණයි. මතුවෙමින් පැවති මෙම අර්බුදය පිළිබඳ අප විසින් එදා ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ද ජනතාවට පෙන්වා දුන්නා. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් අවශ්‍ය බව අප ප්‍රකාශ කළ. කෙසේ නමුත්, අප අදා සිදු කළ මෙම අනතුරු ඇඟවීම බොහෝ දුරට නොසලකා හැරියා. අනෙක් කණ්ඩායම් යථාර්ථවාදී නොවන පොරොන්දු ලබා දුන්නා. ගෝලීය කොවිඩ් වසංගත අර්බුදය අපගේ තත්ත්වය වඩාත් නරක අතට හැරවූ අතර එය 2020 සහ 2021 වසරවල ගෝලීය ආර්ථිකයේ පසුබෑමකට හේතු වුණා. අප තවමත් එයින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, ගෝලීය වශයෙන් සිදුවෙමින් පවතින තත්ත්වය පිළිබඳව ද සලකා බැලිය යුතුයි. කොවිඩ් හේතුවෙන් චීනයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය පහත වැටී ඇති අතර, එය පාරිභෝගික වියදම් කෙරෙහි ද බලපා තිබෙනවා. ඇමෙරිකාවේ සහ යුරෝපයේ පවා, පාරිභෝගික වියදම් උච්චාවචනය වන අතර එම ආර්ථිකයන් තවමත් ස්ථාවර වෙමින් පවතිනවා. මෙම ගෝලීය පසුබිම අප මුහුණ දී සිටින අභියෝගයන්ට ද හේතුවක් වී තිබෙනවා.

මම ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් සිදු කළ යුතු මෙම වෙනස්කම් සිදු කළ හැකි බවට මට විශ්වාසයක් තිබුණා. මම ඒ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධතා පවත්වමින් ගතයුතු පියවර පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබුණා. මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැහැදිලි කළ ආකාරයට, අප දැන් ආර්ථිකය සහ අපගේ ණය ස්ථාවර කර ඇති අතර, අපට ණය ගෙවිය හැකි බව සහතික කර තිබෙනවා. අප මුදල් මුද්‍රණය නොකරන බවටත්, බැංකු වලින් ණය නොගන්නා බවටත් සහතික වී තිබෙනවා. එයින අදහස් වන්නේ අප අපගේම ආදායම් මත රඳා සිටිය යුතු බවයි. ඒ නිසා මා ද ඇතුළුව අප බොහෝ දෙනෙකුට වැඩි බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා.

ඊළඟ අභියෝගය වන්නේ අපගේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි. 2022 වසරේ සිට සාමාන්‍ය තත්ත්වයට පැමිණීම සඳහා අප සතුව පස් අවුරුදු සැලැස්මක් තිබෙනවා. 2026 වසර වන විට අපට මෙය සාක්ෂාත් කර ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා. අපගේ ඉලක්කය 2027 වසර වන විට 5%ක වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගැනීමයි. මෙම ඉලක්ක සපුරා ගැනීම ආර්ථික පරිවර්තන පනත යටතේ නීතියෙන් තහවුරු කර තිබෙනවා. අපගේ ආර්ථික ස්ථාවරත්වය සඳහා පදනම සපයන මහ බැංකු පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි වෙනත් නීති ද අප මෙ වන විට සම්මත කර තිබෙනවා.

රට ඉදිරියට යාමේදී ඉදිකිරීම් හා සංවර්ධන ක්ෂේත්‍රයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. විශේෂයෙන්ම විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති අතරමග නැවතීමත් සමඟ මෙම අංශයට දැඩි පහරක් එල්ල වුවත්, බැංකු සහන ලබාදීම සහ ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට සිදු කළ යුතුව තිබූ ගෙවීම් පියවීම වැනි ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පිරිස් මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා අප පියවර ගෙන තිබෙනවා.
දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති අප නැවත ආරම්භ කරමින් දෙස්, විදෙස් නව ආයෝජන ආකර්ශනය කර ගන්නා විට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඕනෑ තරම් අවස්ථා උදා වෙනවා. අප ගාල්ල, මහනුවර, කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල විශාල හෝටල් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම සහ බිංගිරිය, යාපනය සහ හම්බන්තොට නව ආයෝජන කලාප ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, මහ නගර සංවර්ධන සැලැස්ම යටතේ කොළඹ, ගාල්ල සහ මහනුවර යන ප්‍රදේශවල සැලකිය යුතු ඉදිකිරීම් ප්‍රමාණයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සංවර්ධනය සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන දැනට භාවිතයේ නොමැති රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ද අප සතුව තිබෙනවා. ආයෝජකයින් සොයා ගැනීම සහ මෙම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබට භාරයි. මේ සියල්ල තුළ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ වේවා ඔබ සියලුදෙනාට ඉදිරියේ දී ප්‍රමාණවත් වැඩ කොටසක් පැවරෙනවා. උපයන විට ගෙවන බද්ද (PAYEE Tax) වැනි ඔබ මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබා දීමට ද අප කටයුතු කරනවා. මෙම ප්‍රයත්නයන් පුළුල් වන ආර්ථිකය සහ ඉදිකිරීම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගතය සමඟ සමපාත වන්නේ කෙසේදැයි අප සලකා බැලිය යුතුයි.”