Menu
Contact us
×
Thursday, September 19th, 2024
චම්පිකගේ සහාය සජිත්ට ද රනිල්ට ද

"වැටුණු රට කෙලින් කරන්නට වත්මන් පරිපාලනයට හැකි ද..?" යන තේමාව යටතේ  මහවැලි කේන්ද්‍රයේදී ‘The Vanguard ඉදිරි පෙළ’ වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සංවිධානය කළ සංවාද මණ්ඩපය සඳහා ආරාධිතයෙකු ලෙස සම්බන්ධ වෙමින් අනතුරුව මාධ්‍ය වෙත චම්පික රණවක විසින් අදහස් දැක්වීය.

“ආයතන ඇගයීමේ ක්‍රියාවලියක් මට මතක හැටියට 2010 අලුත් ආණ්ඩුවෙන් ඇති කළා. ඒ සඳහා වෙනම අමාත්‍යංශයකුත් පත් කළා. ඒ ආයතන ඇගයීම සඳහා වගේම පුද්ගලික ඇගයීම සඳහා ක්‍රියාදාමයක්. නමුත් ඒක ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන දැනුම ආයතනවල තිබුන් ඒක ස්වාධීනව කෙරෙන්න ඕන දෙයක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ ඒවා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. කෝපා කමිටුව හරහා රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යංශ වලට කරු ජයසූරිය මහත්මයා ඉන්න කාලේ විදේශ ආයතනවලත් උපකාරයෙන් ඇගයීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා. හැබැයි ඒක මුළුමනින්ම වගේ මූල්‍ය ඇගයීම් ක්‍රියාවලියක්. ඒකට පරාමිති දොළහක් ඔස්සේ ඇගයීමක් කළා. ඒක එක පාරයි හරියට කරේ. 2018 විතරයි. දැනුත් කෙරෙනවා. නමුත් දැන් අමාත්‍යංශ එතනට ගෙනෙන් නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දෙපාර්තමේන්තුව වගේ ඒවා තමයි ගොඩක් දුරට ගෙන්වන්නේ. ඒකෙත් ස්වාධීනත්වය පිළිබඳ පොඩි ගැටලු පැන නැගිලා තියෙනවා. අපේ අමාත්‍යංශ වල අපි කරපු එකක් තමයි මේ ක්‍රමය. ඒක තමයි ලෝකයේ පිළිගත්ත ක්‍රියාවලිය පුද්ගලයින් මනින්නත්, ඒ වගේම ආයතන මනින්නත්. ඒක ටිකක් ඉංජිනේරුමය දෙයක්. ඒක සුදුසු විදියට වෙනස් කරලා රාජ්‍ය සේවයේ උසස්වීම්, වැටුප් වර්ධක වලට යොදාගන්න පුළුවන් නම්, ඉතා හොඳ දෙයක් රාජ්‍ය සේවයට සිද්ධ වෙනවා. ඒ වගේම මැති ඇමතිවරු සම්බන්ධයෙන් මෙම ක්‍රමය යොදාගත්තොත් රාජ්‍ය නායකයාට තමන්ගේ මැති ඇමතිවරුන්ගේ කාර්ය සාධනයන් දැනගන්න පුළුවන්. ඒ වගේම ඔහුට අමාත්‍යවරුන්ව පත්කරන්න කරන්න ඕනනම් ඒ කාර්ය සාධනය පදනම් කරගෙන තමයි කරන්නේ. බ්‍රිතානයේ Tony Blair ගේ ආණ්ඩුවේ Delivery Unit එකේ හිටපු ප්‍රධානියා Sir Michael Barber මේ ක්‍රමය ඉතාම විධිමත්ව කරලා තියෙනවා. ආසියාතික රටවල්, විශේෂයෙන් පකිස්ථානය, ඉන්දියාව වගේ රටවල් වලට ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩු වලට එතුමා මැදිහත් වෙලා උදව් කරලා තියෙනවා. ඒ ක්ෂේත්‍රයේ ලොකු දැනුමක් මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල් වලට තියෙනවා. චීනේ වෙනත් ක්‍රමවේද තියෙනවා. මේවා ගැන අපි උනන්දු වෙලා බලලා මේ රාජ්‍ය සේවයට ඒක ගෙන ආ යුතුයි කියලා මම හිතනවා.”

සංවාද මණ්ඩපයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙසේ අදහස් දක්වන ලදී.

ප්‍රශ්නය: ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නේද?

පිළිතුර: ඒ ගැන තීරණය කරලා නෑ තව තියෙනවනේ දවස්. 14 වෙනිදා දවල් දොළහ වෙනකම් ඇප බඳින්න පුළුවන්නේ.

ප්‍රශ්නය: එහෙම නැති වුණොත් කාට හරි සහයෝගය දෙනවද?

පිළිතුර: ඒ දෙක, තුනම අපි තීරණය කරනවා ඒ පිළිබඳ නිසි ඇගයීමකින් පස්සේ. අපි මන්ත්‍රීතුමන්ලා, දේශපාලන සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සමග මේ දවස්වල විධිමත් සාකච්ඡාවක් කරගෙන යනවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල හැටියට අපි ඉතා ඉක්මනින් ඒ ගැන ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය:

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම්කිසි සහයක් දෙන්න ඔවුන් සමග සාකච්ඡා කරා කියලා රාවයක් ගියා පහුගිය දවස් වල. එකේ සත්‍යතාවයක් තියෙනවද?

පිළිතුර: රට බංකොලොත් කිරීම සඳහා වගකිව යුත්තෝ හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරු නම් කරලා තියෙනවා. පුද්ගලයෝ හැටියට අපි අදහස් හුවමාරු කරගන්නවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. ඕවා ඉතින් ඔය විවිධ පිරිස් අපිට මඩ ගහන ඒවා. අපි ඕවා සලකන්නෑ. නමුත් ඉතාම පැහැදිලිව කියන්න ඕනේ රාජපක්ෂලාට විතරක් නෙවෙයි මේ රට බංකොලොත් කිරීමට වගකිවයුතු අය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, මානව හිමිකම් නඩුවක් නෙමෙයි මේ රටේ ජනතාවගේ පැත්තෙන් ආර්ථික අපරාධකාරයින්ට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි.

ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහත්මයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් ගැලවිලා ගිහිල්ලා සහය දෙන්න ලෑස්තියක් තියෙනවා. දැන් ඔබතුමාගෙත් පොඩි ආදරයක් තියෙන බවක් පේනවා..?

පිළිතුර: අපි එහෙම ආදරේ කරුණාව මත දේශපාලන තීරණ ගන්නෑ. ප්‍රතිපත්ති කාරණා මත තමයි දේශපාලන තීරණ ගන්නේ නිතරම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරඟ කරන්න යාම රටට හොඳ සුබ ආරංචියක්. මේ තුළින් රට ඇතුලේ ඒගොල්ලන්ට තියෙන සැබෑ මහජන ප්‍රතිචාරය මොකක්ද, තාත්තලාගෙන් පුත්තුන්ට යන දේශපාලනය පිළිබඳව, රට බංකොලොත් කරපු අය සම්බන්ධයෙන් මහජන මතය බලන්න මේක හොඳම හොඳ අවස්ථාවක්. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අපේ එහෙම ප්‍රශ්නයක් නෑ. නමුත් එහි වගකීම් දරාගෙන ප්‍රතිපත්ති තීරණ ගත්ත අය සම්බන්ධයෙන් ජනතාවට තීරණයක් ගන්න රත්තරං අවස්ථාවක් උදා වෙලා තියෙනවා.

ප්‍රශ්නය: ඒ කියන්නේ

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ වැඩ කරන්න අවස්ථාවක් ඔබතුමාට ලැබිලා තියෙනවා නේ?

පිළිතුර: අවශ්‍ය නම් තියෙනවා. ඇත්තටම ඒ මන්ත්‍රීවරුන් එක්ක අපි වැඩ කරනවා. අපේ කමිටු වල, පාර්ලිමේන්තුව තුළ අපි වැඩ කරනවා. එහෙම ගැටළුවක් නෑ.