Menu
Contact us
×
Wednesday, September 18th, 2024
කන්ජිපානිට පාටි?


අධ්‍යතන යතාර්ථය තුල ප්‍රධාන දේශපාලන පක්ෂ වල ජයග්‍රහණය සඳහා පාතාලය සතුව තීරණාත්මක කාර්යභාරයක් ඇත. දෙමටගොඩ චමින්දගේ අයියාගේ පුතා එක්සත් ජාතික පක්ෂයෙන් නොපැවැත් වූ පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරනු ලැබුයේ ද එබැවිනි. ප්‍රධාන පක්ෂ දෙක සඳහා "ජනතාව" පෙලගැස්සවීමේ හැකියාව පාතාල නායකයන් සතුව පවතී. එසේම අවශ්‍ය භීෂණය පවත්වාගෙන යාම ද ඔවුන්ට කල හැකිය.

පාතාලය යනු දේශපාලනය-නීතිය/පොලීසිය සහ අපරාධ ලෝකය අතර සහයෝගී සහ සුසංයෝගී අන්තර් සහසම්බන්ධයට පටබැඳ ඇති කෙටි නමයි. එම අර්ථයෙන් පාතාලය උපත ලබනුයේ ඉතාලියේය. එම ත්‍රිත්වයේ අන්තර් සම්බන්ධයක් නොමැතිව පාතාලයක් පැවතිය නොහැකිය. 

කොලොම්බියාවේ පැබ්ලෝ එස්කොබා, මෙක්සිකෝවේ එල් චාපෝ වැනි තම රටවල් පාලනය කල, දේශපාලනය පවා තීන්දු කල, විශාල මනුෂ්‍ය ඝාතනයන් සිදු කල පාතාල නායකයින් හට ද එම සමාජ වල විශාල ජනප්‍රසාදයක් තිබුණි. එස්කොබාගේ අවමංගල්‍ය සඳහා 30000ක් පමණ පිරිසක් සහභාගී වී තිබුණි. එය එතෙක් කොලොම්බියාව තුල රැස් වූ විශාලතම පිරිස ලෙස සැලකේ. එසේම එල් චාපෝ සැලකුවහොත්, ඔහුගේ සංවිධානය සමග සම්බන්ධිත සමස්ත පිරිස ලක්ෂ තුනක් පමණ විය.

ලාංකීය පාතාලය භෞතීස්ම කරනු ලැබූයේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඒ ගොනවෙල සුනිල් ජනාධිපති සමාව දී නිදහස් කරමිනි.  ඔහු විසින් පාතාලය නිර්මාණය කරන ලද්දේ ලාංකීය ධනවාදයට එය අත්‍යවශ්‍ය සාධකයක්ව තිබූ බැවිනි. නිල සන්නද්ධ හමුදා හෝ පොලීසි වෙතින් ඉටු කොට ගත නොහැකි ප්‍රාග්ධන වර්ධනයට අවශ්‍ය බාධක පාතාලය හරහා ඉටුකළ හැකි වීම ඊට එක් හේතුවකි. ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල තත්වය ද එයයි. ජේ. ආර්. විසින් ද එසේ කරන ලද්දේ ලෝක තත්වය අවබෝධකොට ගෙනය. එනම් විද්‍යාවේ සහ තාක්ෂණයේ ප්‍රගමනයට, ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට, සමාජ සංවර්ධනයේ ඉදිරි පියවරයන් සඳහා ඒවායේ ප්‍රගතියක් පෙන්නුම් කල රටවලට පාතාලය අත්‍යවශ්‍ය වී තිබුණි (මේ තත්වය තේරුම් ගැනීම සඳහා Casino චිත්‍රපටය නැරඹීම පමණක් වුව ද ප්‍රමාණවත්ය).

ජේ.ආර් 1977දී මහා වෙනස ආරම්භ කරනුයේ මෙම තත්වය හොඳින් තේරුම් ගැනීමෙන් පසුවය. ඔහුට ඒ පිළිබඳව වැඩිය සිතීමට අවශ්‍ය නොවූයේ ඒ වන විට ද ඊට අදාළ පරමාදර්ශී රාජ්‍යයන් පැවතුන බැවිනි. එහි උච්චතම රාජ්‍ය වන්නේ ඇමරිකාවයි.

"Nacos" Netflix කතා මාලාව තුල ඉතා හොඳින් පෙන්නුම් කරනුයේ දේශපාලනය, පාතාලය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර ඇති සම්බන්ධයි. පැබ්ලෝ එස්කොබා ඝාතනය කිරීමට සහ අදාළ ජාලය නිෂ්ක්‍රිය කිරීම සඳහා ඇමරිකාවට අවශ්‍ය වනුයේ එම ක්‍රියාකාරීත්වය තුලින් ඇමරිකානු ආර්ථිකයට සිදුවන බලපෑම නවතා දැමීම සඳහාය. එස්කොබා මියයන විට ඔහු සතු වූ මූල්‍යමය වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 30කට අධික බව සැලකේ. එය අද දවසේ වටිනාකමට අදාලව නම් බිලියන 75ක් පමණ වේ. එස්කොබාගේ මෙඩ්ලින් කාටලය ශක්ත්මත්ව ක්‍රියාත්මක වූ සමයේ ඇමරිකානු සමාජය තුල විශාල වශයෙන් මත්ද්‍රව්‍ය සංසරණය වෙමින් පැවතුනි. ඉටු කල යුතු ප්‍රමුඛ කාර්ය ලෙස රොනල්ඩ් රේගන් විසින් එකල නිරන්තරයෙන් පවසා සිටියේ ඇමරිකානු සමාජය මෙලෙස දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමෙන් වලකා ගත යුතු වීම බවයි. ඔහු ඊට අදාළ වැඩපිළිවෙලක් ද දියත් කරන ලදී. ඊට ද හේතු වූයේ තරුණ පිරිස් ප්‍රධාන වශයෙන්ම කොකේන් වෙත ඇබ්බැහි වීම තුල රටේ ආර්ථික වර්ධනයට බදා පැමිණ තිබීමයි. 
සියල්ල ආර්ථිකයට අදාලව තේරුම් ගැනීම ධනවාදයේ ස්වභාවයයි.

පත්විය යුතු මෙක්සිකානු ආණ්ඩුව කුමක් ද යන්න පස් වතාවක් තීරණය කරන ලද්දේ එල් චාපෝ විසිනි. එස්කොබාගෙන් පසුව ඇමරිකාවට පාලනය කිරීමට අවශ්‍ය වූයේ එල් චාපෝගේ කාටලයයි. 2017 වසරේදී එල් චාපෝ ඇමරිකාවට ගෙන ගිය ද අද දක්වාම එම කාටලය ක්‍රියාත්මක වේ. 

ඇමරිකාව විසින් කොලොම්බියාව, මෙක්සිකෝව වැනි රටවලට කරන මත ද්‍රව්‍ය පිළිබඳව මැදිහත්වීම් මෙහෙයවනුයේ DEA ආයතනය විසිනි. නමුත් මත් ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ඇමරිකාවට අවශ්‍ය නොවේ. එසේ කළහොත් එරට ආර්ථිකයට ද එහි බලපෑමක් ඇති බව ඔවුන් දනී. එබැවින් ඇමරිකාව විසින් සිදු කරනුයේ ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යා හැකි පරිදි මත් ද්‍රව්‍ය පාලනය කිරීම පමණි. පැබ්ලෝ එස්කොබා, එල් චාපෝ වැනි තම රටවල් පාලනය කරන ලද ඩ්‍රග් ලෝඩ්ලා අල්ලා ගැනීම සඳහා DEA විසින් සැමවිටම යොදා ගනු ලැබූයේ එම  ඩ්‍රග් ලෝඩ් ලගේ තාඩන පීඩන වලට ලක් වී සිටි තවත් එවැනිම  ඩ්‍රග් ලෝඩ්ලාය. එහෙත් කිසි විටකත් DEA විසින් ඔවුන් විනාශ කිරීමට නොපෙලඹුණි. ඒ ඔවුන් අවශ්‍ය තරම් බලපෑම් සහගත නොවූ බැවිනි.

https://www.youtube.com/watch?v=S3aDWxWkXq8