Menu
Contact us
×
Saturday, November 23rd, 2024
බර්ලින් තාප්පය බිඳවැටීම සහ ඇෆ්ඝන් කැඳහැලි ආන්ඩුවේ බිහිවීම

හින්දුකුශ් කඳුවැටියෙන් ගලා එන පිරිසිඳු වතුරෙන් සරුවුනු මිටියාවත් සහිත ඇෆ්ඝනිස්තානය කඩිසර ගොවියන්ගේ හා එඬේරුන්ගෙන් සමන්විත ඉතාම පැරණි රටක්.

ලෝකයේ මුල්ම ශිෂ්ඨාචාර තුලට ගණන් ගැනෙන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය බිහිවුනෙත් මේ ඇෆ්ඝන් බිමේ බව.

මුළු ඉතිහාසය පුරාම ඇෆ්ඝන් බිම පෙරදිග හා අපරදිග ගැටෙන සටන් බිම බවත් අඩුම තරමෙ විවිධ රාජධානි විස්සකටවත් අයත් වෙන්නෙ.. යටත් වෙන්න ඇෆ්ඝනිස්ථානයට සිදු වුනා. ඒ අතරම ස්වාධීන රාජ්‍යක් විදිහට තම බලය පතුරුවන්නත් මේ අපූරු මිනිස්සුන්ට හැකිවුනා.

ග්‍රීක සංස්කෘතිය සමග ගල් කැටයම් තාක්ශණය ඇෆ්ඝන්වරු ඉතාම ආකර්ශණීය විදිහට ග්‍රහණය කර ගත්තා.

ඒ නිසාම ලොව පලමු බුදු පිලිමය නෙලීමේ ගෞරවය හිමිවෙන්නෙත් ඇෆ්ඝන් වරුන්ටයි. ඒ දෙවන සියවසේ කුශාන් අධිරාජ්‍ය සමයේදියි.


ඒ වගේම ලොව පුරා ප්‍රසිද්ධ භාමියන් බුදු පිලිම හයවන සියවසේදී ඉදි කලෙත් මේ ඇෆ්ඝන් වරුන්ම තමා.

හත්වන සියවසේදී සසානිඩ් රාජධානිය යටත් කරගනිමින් පැමිණි අරාබි හමුදාව ඇෆ්ඝනිස්තානයට ඉස්ලාම් ධර්මය හඳුන්වාදුන්නා.

ඉන්පසු විවිධ රාජ්‍යන්ට යටත් වූ ඇෆ්ඝන්වරුන්ට තමන්ගෙ භූමියෙන් විශාල ප්‍රමාණයක් අළුතින් බිහිවූ පාකිස්ථානය නම් රටට ලබා දෙන්නට සිදුවුනේ දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවත් එක්කමයි. මේ බිම් ප්‍රදේශ පාරම්පරික පශ්තූන් කුලයේ මිනිසුන් ජීවත් වුනු බිම් බව අමතක කරන්න නරකයි.


අන්තිමට අපි නතර කරේ 1979 දී සෝවියට් ආන්ඩුව විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමනය කරල කොමියුනිස්ට් ආණ්ඩුවක් බිහි කරපු තැනින්.

ඒ එක්කම කඳුකර ගොවියන් හා එඬේරුන් එකතුවෙලා ඇෆ්ඝ්නිස්තානයට නිදහස ලබාගන්න ගරිල්ලා සටනක් ආරම්භ කරපු බවත් අපි කතා කලා. ඒ සංවිධානයේ නම තමයි මුජාහිදීන්.

දැං අපි ඉන්නෙ 1980 අවුරුද්දෙ.

ඇෆ්ඝනිස්තානය පාලනය කරන්නෙ සෝවියට් දේශය විසින්. තවමත් ලෙනොයිඩ් බ්‍රෙශ්නෙව් තමයි සෝවියට් පාලකයා.

මේ වෙද්දි සෞදි අරාබිය ලෝක නායකයා විය යුතු යැයි හිතන තරුණ බින් ලාඩන් නිතරම ඉන්නෙ පාකිස්ථානයේ. ඒකට එක හේතුවක් තමයි පලස්තීන අන්තවාදී ජිහාඩ් උපදේශකයෙකු වන අබ්දුල්ලා යුසුෆ් අසාම් ( Abdullah Yusuf Azaam) පාකිස්ථානයේ ස්ථාන ගතවෙලා බින් ලාඩන්ට පාකිස්ථානයටත් ඇෆ්ඝ්හනිස්තානයටත් ආරාධනා කිරීම.

බින් ලාඩන් තරුණයා වැඩ පටන් ගන්නව. ඒකට අවශ්‍ය බලයත් සල්ලිත් ඕනෙ තරම් බින් ලාඩන් සතුව තියෙන බව අපි දන්නව.

අළුතින් බිහිවුණු සෝවියට් ආන්ඩුවට කවුද කැමති.. සෝවියට් දේශයත්.. කියුබාවත් තවත් සමාජවාදයට පක්ශ රටවල් කිහිපයකුත් පමණයි.

ඇෆ්ඝන් භහුතරය මේකට අකමැතියි. පාකිස්තානයත් .. ඉරානයත් මේකට ඊරිසියයි.

ඇමරිකා එක්සත් ජනපදය මේ වැඩේට බොහොම තරහයි. ඒ ඇයි .. මේ තමා ලෝක බලවතා වෙන්න උත්සාහ කරන ප්‍රධාන බල කඳවුරු දෙක.

මේ බල කඳවුරු දෙක බලය ලබා ගන්න ඕනෙම ජඩ වැඩක් කරන්න ලෑස්තියෙන් ඉන්නෙ.අනිත් අතින් මේ වෙද්දි ඇමරිකාව ඇෆ්ඝන් භූමිය තුල බොහොම ලොකු ආයෝජන කරල තියෙන්නෙ. සෝවියට් ආන්ඩුවට ඒ ඔක්කොම දීල නිහඬ වෙන්න මේ මිනිස්සු කැමතියි කියල හිතන එක මෝඩ කමක්.

මේ කාලය තුලදි වැඩි වැඩියෙන් ඇමරිකානු ඒජන්ත වරු ඇෆ්ඝනිස්තානයේ ස්ථාන ගත වෙනව. කවුද ඉත්තො කවුද මෙහෙයවන්නෙ හිතා ගන්න බැරි තරමට ඇමරිකානු, ඉරාන.. පාකිස්තාන .. ඉන්දියානු .. සෞදි චර පුරුශයො ඇෆ්ඝනිස්තානය පුරාම වැහි වැහැල.

කොමියුනුස්ට් පාලනය යටතේ කාන්තාවන්ට වැඩි වැඩියෙන් නිදහස ලැබෙනව. ආගම් වලින් ලබා දෙන තීරණ ..නීති අහෝසි කරනව. මේ දරදඬු තීරන හරහා තවත් දැඩි වෙන්නෙ ඉස්ලාම් ආගමික කන්ඩායම් වගේම සාම්ප්‍රදායික ඇෆ්ඝන් ජනතාව.

මේ අතරෙ තමා හොලිවුඩ් නළුවෙක් වූ රොනල්ඩ් රේගන් අමරිකානු ජනාධිපති වෙන්නෙ.

කම්මැලියෙක් වුනත් මේ මනුස්සයා වටේ ඉන්න මොළ කාරයො කණ්ඩායමක් නිසා ඇමරිකාව අළුත් ගමණක් යන්න ලෑස්ති වෙන බව පේන්න තියනව.

බින් ලාඩන් .. පකිස්තානය හරහා මුජාහිදීන් ගරිල්ලන්ට උදව් දෙන අතරෙ ඇමරිකා එක්සත් ජනපදයත් අත දිගෑරල වියදම් කරන්නෙ මේ කාලෙ තමයි.

අහමඩ් ශාහ් මසූඩ් නම් ආකර්ශණීය තරුණයා වටේ ඇෆ්ගන් තරුණයො එකතු වෙන්නෙ සෝවියට් හමුදාවට ලොකු හිසේ රදයක් එකතු කරමින්.

ඇයි මේ ගරිල්ලන්ව මර්ධනය කරන්න සෝවියට් හමුදාවට බැරි.. පලවෙනි දේ මේ මිනිස්සු කඳු අස්සෙ හැංගිලා කරන ගරිල්ලා සටන් ලේසි පහසු නෑ.

එක උමගකින් කඳු අතරෙ ඇතුලට ගිහාම ආයෙ එලියට එන්නෙ වෙනත් මිටියාවතකින්. අනික් අතින් ඇමරිකාව.. චීනය .. සෞදි අරාබිය.. බ්‍රිතාන්‍ය .. පකිස්තානය වගේ රටවල් දෙන යුධ ආධාර වලින් මේ මිනිස්සු සන්නද්ධයි. ඒ එක්කම රට බේරාගන්න මේ මිනිස්සු තදින්ම අධිශ්ඨාන කරගෙන ඉන්නෙ.

මසූඩ් ශාගෙ මුජාහිදීන් කන්ඩායම් කවුරුත් හිතුවට වඩා සටනේදී දක්ශයි.

මේ අයට ඇමරිකානු.. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා ඒජන්ත වරුන් කඳුකරයේදී පුහුණුව ලබා දීපු බව ප්‍රසිද්ධ රහසක්.

මේ කාලයේ සිදුවෙන සිදුවීම් දිගින් දිගටම විස්තර කරන එක වෙහෙසකාරී වැඩක්.

නමුත් පන්ජ්ශීර් මිටියාවත තමන්ගෙ රාජධානිය කරගෙන ඉන්න මසූඩ් වටේ මිනිස්සු එක් රැස් වීම සඳහන් කල යුතුමයි.




කීප වරක්ම සෝවියට් යානා මේ මිටියාවතට බෝම්බ හෙලනව නොකඩවාම.. නමුත් මසූඩ්ගෙ මිනිස්සු වගේම ප්‍රදේශයේ කාන්තාවන් හෝ දරුවන් කිසිම කෙනෙක් මේ ප්‍රහාර වලට ගොදුරු වෙන්නෙ නෑ. එයාගෙ ඔත්තු සේවාව වගේම කඳු අස්සෙ උමං මාර්ගත් උදව් වෙනව මේ ප්‍රහාර වලින් ගැලවෙන්න.

ප්‍රහාරක යානා එන බව දැනගත් පමනින් මුලු ගම් පිටින්ම කඳු අතරෙ උමං නිවෙස් තුල හැංගෙනව. දාස් ගානකට අවශ්‍ය ඉඩකඩ මේ කඳු අතරෙ තියනව.

මසූඩ්ට චෝදනා එල්ලවෙනව සෝවියට් කඳවුරෙන් බටහිර රූකඩයක් කියල. මසූඩ් උත්තර දෙන්නෙ බටහිර බැරිනම් නැගෙනහිර රූකඩයක් වෙලා හරි මං උඹලගෙන් මගෙ රට බේරගන්නව කියලයි.

1985 දි බලයට එන මිහායිල් ගොර්බචොෆ් මහත්තයා අනිත් අය තරම් යුද්ධයට බර කෙනෙක් නෙවේ. පසු කාලීනව කල්පනා කරද්දි මට වැටහෙන්නෙ ඒ මනුස්සයාගෙ බුද්දිමත් කම නිසා මේ ලෝකෙ ගැලවුනා කියලයි.


කොහොම උනත් ගරිල්ලා කණ්ඩායම් හා සෝවියට් හමුදා අතරෙ යුද්ධය දිග්ගැස්සෙන්නෙ දෙපැත්තෙම ජීවිත දාස් ගාණක් බිලි ගනිමින්.

හැම යුද්ධයකදිම වගේ මෙතනදිත් දුක් විඳින්නෙ කාන්තාවන් හා පොඩි ලමයි. එක අතකින් ආගමික හා සංස්කෘතික පීඩනයටත් අනිත් අතින් සෝවියට් වරු ලබාදෙන අසීමාන්තික නිදහසත් අතර ඇෆ්ඝන් කාන්තාවො අතරමං වෙන බව පැහැදිලිව පේන්න තියනව.

මේ ගැටුම් වලින් මිය යන සංඛ්‍යාව ගනන් බලන්න බැරි තරමට විශාල බවයි බොහෝ ආයතන පෙන්වා දෙන්නෙ.

562,000 ත් 2,000,000 ත් අතර ඇෆ්ඝන් වරු මේ ගැටුම් වලින් මිය යනව. තවත් මිලියනයකට අධික පිරිසක් සරණාගතයන් විදිහට පකිස්තානයට, ඉරානයට හා බටහිර රටවලට පලා යනව.

මෙන්න මෙතන්දි පාකිස්තානයේ සරණාගත කඳවුරු වල සිද්ධ වෙන දේ ගැන අවධානය යොමු කරන්න වටිනව. බටහිර රටවල් වලටත් වඩා සෞදි අරාබිය අත දිග හැරල මේ සරණාගත කඳවුරු වලට උදව් කරනව. සෞදි අරාබියෙන් එන ඉමම් වරු.. ඉස්ලාම් දේශකයින් කලවරක් නැතිව මේ කඳවුරු වල පංති පවත්වනව.. දේශන තියනව.



දැන් අපි දන්නව ඇෆ්ඝනිස්තානයේ අසල්වැසි ඉරානය ශියා මුස්ලිම් රටක් බවත් සෞදි අරාබිය සුන්නි මුස්ලිම් රටක් බවත්.

දැං මොකද වෙන්නෙ.. පාකිස්තානයේත් උදව් ඇතිව සෞදි අරාබි පූජකවරු ටිකෙන් ටික මූලදර්මවාදී අදහස් මේ කඳවුරුවල ඉන්න මිනිස්සු අතරට කා වද්දනව. මේ ගැන මසූඩ් ශා අනතුරු අඟවනව. නමුත් කවුරුත් වැඩි අවධානයක් යොමු කරන්නෙ නෑ.

හැබැයි බින් ලාඩන් තේරුම් ගන්නව කවද හරි මසූඩ් හා එයාගෙ මුජාහිදීන් කණ්ඩායමත් තමන්ට කරදරයක් වෙන බව.

ලේ වැගිරීම් ගැටුම් මැද්දෙ අපි 1988 ට ලඟා වෙනව. මෙන්න මේ කාලෙ තමයි පාකිස්තානයේ පෙශාවා නගරයේදී ( කලින් ඇෆ්ඝන් භූමියට අයිත් නගරයක්) අල් කයිඩා සංවිධානය ගොඩ නැගෙන්නෙ. මීට අවශ්‍ය මිනිසුන් අවුරුදු ගානක දේශණ වලින් හා මුදල් බලයෙන් නිර්මාණය කරල ඉවරයි.

ඒ එක්කම පෙශාවා ප්‍රදේශයේ කලින් ජීවත් වූ පශ්තුන් කුලයේ සටන් කාමීන්ට අන්තවාදී ඉස්ලාම් අදහස් ඇතුල් වෙන්නෙ හෝ ඇතුල් කරන්නෙ මේ කාලයේදී තමයි.

ඇයි මේ කරුණ අපිට වැදගත් වෙන්නෙ.

ඒකට හේතුව තමයි කවුරුත් දන්න තලෙයිබාන් වරුන්ගේ බිහිවීමත් වෙන්නෙ මෙන්න මේ පාකිස්තාන පෙශාවා නගරයේදී ආගමික දැනුම ලබාදෙන මිනිසුන් එකතුවෙන් බව.

ඒ එක්ක්ම මේ මිනිස්සුන්ගෙ ඔළුවට ඇතුල් කරන තව දෙයක් තමයි මසූඩ් හා මුජාහිදීන්වරු ටජික් කඳුකර ගොවියන් බවත් ඇෆ්ගනිස්තානයේ සැබෑ අයිතිය තිබිය යුත්තේ පශ්තූන් වරු අතේ බවත්.

අල්කයිඩා හා තලෙයිබාන් සංවිධාන දෙකම සෞදි නිෂ්පාදන විදිහට සඳහන් කිරීම අතොශෝක්තියක් නෙවේ. සෞදි ඔත්තු සේවා මේ සංවිධාන දෙකම සෝවියට් වරුන්ට එරෙහිව යොදාගන්නවටත් වඩා ඉරාන ශියා මුස්ලිම් සංස්කෘතියට එරෙහිව යොදා ගන්න බවයි බොහොම පරීක්ශාවෙන් බලද්දි පැහැදිලි වෙන්නෙ.

අල්කයිඩා කියන්නෙ සෞදි රාජ්‍ය හරහා මෙන්න සෘජුවමත් ඇමරිකානු ආධාර ලබපු කණ්ඩායමක්.

1989 අවුරුද්ද්ට ලඟා වෙද්දි සෝවියට් භටයන් 15000 කට වැඩි ප්‍රමානයක් ඇෆ්ඝනිස්තානයේදී දිවි පුදල ඉවරයි. තවත් 35000 ක් දෙනා තුවාල වෙලා.

ඇමරිකාවෙන් සෞදි රජය හරහාත් ඔත්තු සේවා හරහාත් සැපයූ ගුවන් යානා නාශක මිසයිල නිසා සෝවියට් ගුවන් හමුදාවට වෙන්නෙ සුළු පටු පාඩුවක් නෙවේ.

මේ සටන් වලින් ඇෆ්ඝන් වරු දිනුව නම් ඒකෙ ගෞරවය හිමි වෙන්න ඕනෙ මසූඩ් හා කඳුකර ගරිල්ලන්ටයි.

1987 අවුරුද්දෙ හෙමින් ආරම්භ කරපු සෝවියට් පසු බැසීම 1989 වෙද්දි උච්ඡම තැනට එනව. ඒ කියන්නෙ 1989 අවුරුද්දෙ සෝවියට් දේශය තීරණය කරනව ඇෆ්ඝනිස්තානය අතෑරල යන්න.



මෙතන්දි තමයි තවත් කැඳ හැලියක් උතුරන්න ගන්නෙ.

සමහර විට ප්‍රශ්ණ කීපයක් අහන්න පුළුවන්.

ඇයි සෝවියට් දේශය ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කලේ. ඒ කොමියුනිස්ට් බලකඳවුරු ලෝකයේ ව්‍යාප්ත කරන්න. අනිත් අතින් ඒ සෝවියට් දේශයේ අසල් වැසියා.

ඇයි ඇමරිකාව ඇෆ්ඝනිස්තානයට මැදිහත් වුනේ. ඒ ඇෆ්ගනිස්තානය කොමියුනිස්ට් රටක් වෙන එක නවත්වන්න.

එක්සත් ජනපදයට ඕනෙ ලෝක පොලිස්කාරයා වෙන්න.

සෞදි අරාබියට ඕනෙ ඇෆ්ඝනිස්තානය ඉරානයට හේත්තු වෙලා ශියා මුස්ලිම් රටක් වෙන එක නවත්වන්න. පාකිස්තානයට ඕනෙ දුර්වල අරබුදකාරී රජයක් ඇතිවෙන්න හැරලා තමං බලවත් වෙන්න.... මෙන්න මේ වගේ හැම රටටම අමුතුම අශාවල් උවමනාවල් තමයි තියෙන්නෙ.

මේ අතරෙ 1989 නොවැම්බර් මාසෙ බර්ලින් තාප්පෙ බිඳ වැටෙනව.. සෝවියට් බල කඳවුරට අයත්ව තිබුනු රටවල් අරගල කරනව නිදහස ඉල්ලල.

ඕන්න දැං අපි එන්නෙ 1990 ට. මට තේරෙනව මේ ලිපි දිගයි, නීරසයි. නමුත් ඇෆ්ඝනිස්තානයට වුනු දේ දැනගන්න මේ කරුණු නොදැන බැහැ. හේතුව මේ සිද්ධි එකකට එකක් අද වෙනකල් සම්භන්ධයි.

දැං ඉතුරු වෙලා තියෙන්නෙ.. ඇෆ්ඝන් කැඳහැලි ආන්ඩුවේ බිහිවීම... මුජාහිදීන් මර්ධනය කරගෙන අල්කයිඩා හා තලෙයිබාන් සංවිධාන ඉස්මතු වීම හා ඇමරිකානු මැදිහත් වීම කියන කවුරුත් දන්න මාතෘකා ටිකක් විතරයි. ඒ ටික ඊ ලඟ ලිපියෙන් කතා කරල මේ පොත වහල දාමු.

(තමංගෙ බල කඳවුරු අමතක කරල කරුනු දිහා බැලුවොත් පමනයි අපිට සැබෑ තත්වය වැටහෙන්නෙ කියල මට හිතෙනව)

 

@Malcolm Sang