"අවුරුදු 62 වෙද්දී මගේ හැම හීනයක් ම සුණුවිසුණු වෙලා ගියා. අපිට ඕන වැරදිකාරයාට උපරිම දඬුවම් දෙන්න."
දූෂණයට සහ ඝාතනයට ලක් වීම හේතුවෙන් ඉන්දියාව තුළ මහත් කැළඹීමක් ඇති කළ, 31 හැවිරිදි වෛද්‍යවරියගේ පියා අප ත් සමග ඔවුන්ගේ පවුලට අයත් නිවසේ හිඳ ගෙන සිටියි.
සුදු හුණු පිරියම් කර ඇති, වැදගත් වටපිටාවක් ඇති ප්‍රදේශයක පිහිටා ඇති සාමාන්‍ය නිවසක් වන එය ඔහුගේ දියණියගේ බිහිසුණු ඝාතනයෙන් පසු දැඩි ලෙස මාධ්‍යවල අවධානයට ලක්විය.
වින්දිත වෛද්‍යවරිය හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ගේ අනන්‍යතාව හෙළි කිරීම ඉන්දියාවේ නීතියට අනුව පටහැනි බැවින් මෙම ලිපියෙන් ඔවුන් සියලු දෙනාගේ නම් හෝ විස්තර ඉවත් කර තිබේ.
"අපේ ප්‍රාන්තය, අපේ රට, මුළු ලෝකය ම පවා ඉල්ලන්නේ යුක්තිය," ඔහු පවසයි.
වින්දිත වෛද්‍යවරියගේ මව, ඔහු අසල නිහඬව හිඳගෙන සිටියා ය. ඇයගේ මුහුණේ යම් ව්‍යාකූල බවක් දිසිවිණි.
ඉන්දියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කොල්කටාවේ දිවි ගත කළ මෙම ආධුනික වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කර තිබුණේ, අගෝස්තු 9 වන දින රාත්‍රියේ එම නගරයේ ම පිහිටි ආර්.ජී. කාර් වෛද්‍ය විද්‍යාලයේ, රාත්‍රී වැඩ මුරයක් අතරතුර ඇය රාජකාරි කළ ගොඩනැගිල්ලේ සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගනිමින් සිටියදී ය.
ඇය මෙම සිදුවීමට පැය කිහිපයකට පෙර එනම්, රාත්‍රී 11:00ට පමණ තම මව අමතා තිබිණි.
ඒ අනුව, ඇගේ මව ඇය අවසන් වරට ඇය දුරකතනයෙන් සතුටින් කතාබහ කළ ආකාරය සිහිපත් කළා ය: "තාත්තා වෙලාවට බෙහෙත් ටික බොනවා ද බලන්න - මගේ ගැන වද වෙන්න එපා."
"ඒ තමයි අපි අන්තිම පාරට කතා කළ වෙලාව. ඊට පහුව දා, එයාගේ ෆෝන් එක නාද වුණා විතරයි."
ඇගේ පියා අධිරුධිර පීඩනයෙන් පෙළෙන අතර නියමිත වේලාවට ඒ සඳහා ඖෂධ ගැනීම වැදගත් ය.
"එක බෙහෙත් වේලක්වත් මග ඇරෙන්න දෙන්නේ නැහැ එයා," ඇගේ පියා සිය පවුලට අයත් නිවසේ සිට බීබීසීය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මතකය අවදි කළේ ය.
"එක පාරක්, මගේ බෙහෙත් ඉවර වුණා. ඉතින් මම හිතුවා මම ඊට පහුව දා ඒවා මිලට ගන්නවා කියලා. ඒත් දුව ඒක දැනගත්තා. එතකොට වෙලාව රෑ 10 හරි 11 වගේ වෙලා තිබුණත්, රෑ කෑම ගන්න කලින් දුව මෙහෙම කිව්වා. 'බාපි (පියාට ආදරයෙන් ඇමතීමට භාවිත කරන යෙදුමකි), බෙහෙත් ටික මෙතනට එනකම්, මේ ගෙදර ඉන්න කිසි කෙනෙක් කන්නේ නැහැ,'" ඔහු පැවසීය.
"ඒ, මට කිසි දෙයක් ගැන කවදාවත් දුව වද වෙන්න දුන්නේ නැති විදිහ."
මෙම සිදුවීම 2012 වසරේදී ඉන්දියාවේ දිල්ලි අගනුවරදී ධාවනය වෙමින් පැවති බස් රථයක් තුළ 22 හැවිරිදි සීමාවාසික භෞතචිකිත්සක සිසුවියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සිහිපත් කරයි.
ඇගේ තුවාල මාරාන්තික විය.
ඉන් අනතුරුව ලිංගික හිංසනයට එරෙහි නීති දැඩි කෙරිණි.
නමුත් වාර්තා වුණු ලිංගික හිංසන සිද්ධීන් ඉහළ ගොස් ඇති අතර යුක්තිය සඳහා ප්‍රවේශය ඉන්දියාවේ කාන්තාවන්ට තවමත් අභියෝගයක්ව පවතී.
පසුගිය දා කොල්කටාහි සිදු වූ ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිදුවීම සෞඛ්‍ය සේවකයින් මුහුණ දෙන අභියෝග වෙත නැවතත් අවධානය යොමු කර ඇත. ඔවුන් - විශේෂයෙන් ම කාන්තාවන් - රැකියාව අතරතුර ආරක්ෂා කිරීම සඳහා පරිපූර්ණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත් වන ලෙස සහ ෆෙඩරල් නීතියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ.
ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී. නඩ්ඩා වෛද්‍යවරුන්ට සහතික වූයේ, ඔවුන්ගේ රැකියා පරිසරය තුළ වඩා හොඳ ආරක්ෂාවක් සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන එන බව ය.
වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කරන ඉන්දීය රජයේ ආයතනයක් වන එරට ජාතික වෛද්‍ය කොමිෂන් සභාව විසින් ආරක්ෂිත සේවා ස්ථානයක් සහතික කිරීමේ අරමුණින් සියලු ම වෛද්‍ය විද්‍යාල සහ ආයතන සඳහා උපදෙස් මාලාවක් ද නිකුත් කරන ලදී.
මිලින වුණු ජීවිතයක්
අප ඇයගේ නිවස වෙත පිවිසියේ, කොල්කටා සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා ඇති පටු මාර්ගයක් ඔස්සේ ය.
එහි වූ පොලිස් බාධකයකට එක් පසෙක, සිදුවන සියල්ල ග්‍රහණය කර ගැනීමේ අරමුණින් ප්‍රවෘත්ති නාලිකා කිහිපයක ම කැමරා විශාල ගණනක් එක පෙළට පෙළ ගස්වා තිබිණි.
අනෙක් පසින් පොලිස් නිලධාරීන් 10ක 15ක පමණ පිරිසක් ආරක්ෂාවට සිටි අතර ඔවුන්ගේ සුදු පැහැති නිල ඇඳුම් හිරු එළියෙන් දීප්තිමත් වී තිබිණි.
ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ, පොලිස් බාධකයට ඔබ්බෙන් තිබුණු වෛද්‍යවරියගේ නිවස කැමරාවලට හසු නොවන වග සහතික කිරීම ය.
අගෝස්තු 9 වන දා රාත්‍රියේ, ආධුනික වෛද්‍යවරියක වන මෙම වින්දිත තරුණිය වෙහෙසකර පැය 36ක රාත්‍රී වැඩ මුරයක යෙදී සිට සම්මන්ත්‍රණ ශාලාව වෙත පිවිසියේ විවේකය සඳහා ය.
පසු දා උදෑසන වන විට හමු වූයේ, ඇගේ අඩ නිරුවත් සිරුර ය.
මෙම අපරාධයත් සමග ඇති වුණු භීතිය කොල්කටාහි පමණක් නොව යුක්තිය ඉල්ලා විරෝධතාකරුවන් පා ගමන්වල නිරත වූ බොහෝ ඉන්දියානු නගර පුරා දැඩි විරෝධයක් ඇති කිරීමට තුඩු දුන්නේ ය.
රට පුරා සිටින මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ ආරක්ෂා වෙනුවෙන් කොල්කටාහි 'Reclaim the Night' නමැති පාගමනක් පැවැත්විණි.
"රාජකාරි වෙලාවෙදි ඇයට මේ තරම් ම්ලේච්ඡ දෙයක් වුණු තැනත් රෝහල ම තමයි," යනුවෙන් ඇගේ පියා පැවසුවේ, එය ආරක්ෂාකාරී විය යුතු ස්ථානයක් ලෙස සැලකෙන බව සඳහන් කරමිනි.
ඇගේ අවසන් වචන නැවතත් සිහි කිරීම
ඇයගේ වියෝවෙන් ඇගේ පවුලට දැනෙන්නේ දැඩි හිස් බවකි.
ඇය සැමවිට ම අන් අයට මුල් තැන දුන් ආකාරය ඇගේ පියා සිහිපත් කරයි: "දුවගේ කසාදේ බොහෝ දුරකට තීන්දු වෙලා තිබුණේ. නමුත් එයා කිව්වේ, 'බාපි ඔයාට ඔච්චර සල්ලි කොහෙන් ද? කරදර වෙන්න එපා, මම ඒ ගැන බලා ගන්නම්."
ඔහු කතා කරන විට ඇගේ මව සියුම්ව හඬන ශබ්දය පසුබිමින් දෝංකාර දුන්නේ ය.
ඇඳුම් මහන්නෙකු ලෙස ඇගේ පියා ජීවිත කාලය පුරා භාවිත කළ මෙවලම්වලින් එනම්, මහන මැෂිමක්, නූල් පන්දු, බර ස්තිරික්කයක්, බිම පුරා විසිරි තිබූ රෙදි කැබලිවලින් සාලය හැඩි වී තිබිණි.
විසිත්ත කාමරයට යාබදව තිබිණු පඩිපෙළක් මග කීවේ පවුලේ කාමර වෙත සහ ඇයගේ නිදන කාමරය වෙත ය.
පසුගිය දින 11 පුරා ම එහි දොර වැසී තිබිණි. අගෝස්තු 10 වන දා සිට ඇගේ දෙමාපියන් තම දියණියගේ කාමරයට පය තැබුවේ නැත.
"එයා පොඩි කාලේ අපි ආර්ථික වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දුන්නා," ඇගේ පියා සිහිපත් කළේ ය. එතකොට එයාට වයස අවුරුදු 5ක් විතර වගේ වෙන්න ඇති. එයා පළතුරු කන්න ආස කළා. විශේෂයෙන් ම දෙළුම්. යන අතරමගදී, ඒවා තියෙනවා දැකලා එයා කිව්වා, 'බාපි, ඔයා පූජාවට දෙළුම් ගන්නේ නැද්ද?' එයා කවදාවත් එයාට දෙයක් ඉල්ලුවේ නැහැ..."
එය කියා අවසන් කිරීමට පෙර ඔහු කඳුළු සලන්නට විය.
"හිතට හයිය ගන්න", අසල සිටි ඥාතියෙක් මෘදු ලෙස ඉල්ලා සිටියේ ය.
ශක්තිමත්ව සිටීමට දරන උත්සහය ඔහුට දුෂ්කර ක්‍රියාවකි.
කුඩා කල සිට ම ඉගෙනීමට දැඩි ආශාවක් තිබුණු, පාසලේදී ගුරුවරුන්ගේ ප්‍රසාදයට පාත්‍ර වූ දියණියක වූ ඇය ඔවුන්ගේ එක ම දරුවා වූවා ය.
"එයා පොඩි කාලේ එයාගේ ගුරුවරුන් එයාව වඩාගෙන ඉස්කෝලෙට එක්කන් ගියේ," ඇගේ පියා සිහිපත් කරයි.
"අපි පහළ පන්තියකින් එන අය. අපි හැමදේම හදා ගත්තේ අපේ මහන්සියෙන්," ඔහු පැවසීය.
"මිනිස්සු කිව්වා, 'ඔයාට ඔයාගේ දුව වෛද්‍යවරයෙක් කරන්න බැහැ', ඒත් මගේ දුව රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වෙලා හැමෝම වැරදියි කියලා ඔප්පු කළා."
ඇගේ මව නිහඬව අතීතය පිළිබඳව සිහිපත් කරමින් සවන් දුන්නා ය.
රතු සහ සුදු පැහැති වළලු අතර තිබුණු රන් වළල්ලක් ඇය නැවත නැවතත් ස්පර්ශ කළා ය. එය ඇය තම දියණිය සමග ගොස් මිල දී ගත් වළල්ලක විය.
සෑම රාත්‍රියක ම නින්දට යාමට පෙර තම දියණිය තම දිනපොතේ සටහන් තබන ආකාරය ඇයට සිහිපත් විය.
"ඇය ලියලා තිබුණා ඇයට ඇයගේ වෛද්‍ය උපාධියෙන් රන් පදක්කමක් දිනාගන්න ඕන කියලා. එයාට ඕන වුණේ හොඳ ජීවිතයක් ගත කරලා අපිව ත් බලාගන්න." ඇය මෘදු ලෙස පැවසුවා ය.
BBC වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.