Menu
Contact us
×
Wednesday, September 18th, 2024
ගැහැනු දරුවන් වැඩිවිය පැමිණීම කලින් සිදු වන්නේ ඇයි?

එක්සත් ජනපදයේ ගැහැනු දරුවන්ගේ පළමු ඔසප් වීම නිසි වයසට පෙර සිදුවන බවට නව පර්යේෂණයක් පෙන්නුම් කරයි. ඊට අර්ධ වශයෙන් දොස් පැවරෙන්නේ විෂ සහිත වාතයට නිරාවරණය වීමට ය.

දශක කිහිපයක සිට ලොව පුරා විද්‍යාඥයන් වැඩි වැඩියෙන් කනස්සල්ලට පත් වී ඇත්තේ, පෙර පරම්පරාවන්ට සාපේක්ෂව ගැහැනු දරුවන් ඉතා අඩු වයසින් වැඩිවියට පත් වන බවට වන ලක්ෂණ පිළිබඳව ය.

ගැහැනු දරුවන් සිය පළමු ඔසප් වීම අත්විඳීමේ සිට [විද්‍යාඥයන් මල්වරවීමේ වයස ලෙස හඳුන්වයි] පියයුරු වර්ධනය ආරම්භ වීම දක්වා නව යොවුන් වියේ ආරම්භය සනිටුහන් කරන මූලික වෙනස්කම් වඩ වඩා ත් ඉක්මනින් සිදු වන බව පෙනේ.

අද වන විට ඇමෙරිකානු ගැහැනු දරුවන් සියවසකට පෙර ජීවත් වූ ගැහැණු දරුවන්ට සාපේක්ෂව වසර හතරකට පෙර ඔසප් වීම ආරම්භ වන බව ඇස්තමේන්තු කර ඇත. මැයි මාසයේදී, නව දත්ත පෙන්නුම් කළේ, 1950 සහ 1969 අතර උපත ලද ගැහැනු දරුවන්ගේ සාමාන්‍යයෙන් අවුරුදු 12.5කදී ඔසප් වීම ආරම්භ වුවත්, 2000 ගණන්වල මුල් භාගයේ උපත ලැබූ පරම්පරාව සඳහා මෙය සාමාන්‍යයෙන් අවුරුදු 11.9 දක්වා පහත වැටී ඇති බව ය.

එම ප්‍රවණතාව ලොව අනෙක් රටවල්වලින් ද වාර්තා වී ඇත. 2008 සහ 2020 අතර කාලය තුළ වයස අවුරුදු 8ට පෙර පියයුරු වර්ධනය හෝ ඔසප් වීම වැනි පූර්ව වැඩිවිය පැමිණීමේ ලක්ෂණ පෙන්නුම් කරන ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව 16 ගුණයකින් වැඩි වූ ආකාරය දකුණු කොරියානු විද්‍යාඥයින් විසින් යම් අනතුරු ඇඟවීමක් ද කරමින් විස්තර කරනු ලැබ ඇත.

"ඒ වගේ ම අපි දකිනවා මේ අඩු වයසින් වැඩිවියට පත් වන එක පහළ සමාජ ආර්ථික තත්ත්ව කණ්ඩායම් සහ වාර්ගික සුළුතර කණ්ඩායම් තුළ වැඩි යි කියන එක," එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි එමරි විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ඕඩ්‍රි ගැස්කින්ස් පවසයි. "මේකේ සැලකිල්ලට ගත යුතු දිගුකාලීන සෞඛ්‍ය ගැටලු තියෙනවා."

ගැස්කින්ස් වැනි පර්යේෂකයන් මූලික වශයෙන් කනස්සල්ලට පත්ව සිටින්නේ, වැඩිවිය පැමිණීම නිසි වයසට පෙර ආරම්භ වීම වැඩිහිටි වියේදී දුරදිග යන ගැටලු රැසකට හේතු විය හැකි වීම නිසා ය. නව දත්ත පෙන්වා දෙන්නේ, එය සරු කාලය සීමා කරනවා පමණක් නොව, විශේෂයෙන් මෙම කාන්තාවන් ඉක්මනින් ආර්තවහරණයට ඇතුළු වුවහොත්, ඔවුන්ගේ ජීවිත කාලය පවා කෙටි කළ හැකි බව ය. පූර්ව වැඩිවිය පැමිණීම පියයුරු හා ඩිම්බකෝෂ පිළිකා, ස්ථූලභාවය සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි පරිවෘත්තීය සින්ඩ්‍රෝම් සහ හෘද වාහිනී රෝග ඇති වීමට වැඩි වශයෙන් බලපාන බව ය.

මෙය එසේ සිදු වන්නේ මන්දැයි තේරුම් ගැනීමට විද්‍යාඥයෝ තවමත් උත්සාහ කරති. නමුත් බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය බ්‍රෙන්ඩා එස්කෙනාසි පවසන්නේ, එක් න්‍යායකට අනුව, ශරීරයේ සෛල වැඩි කාලයක් ඊස්ට්‍රජන් වැනි ලිංගික හෝමෝනවලට නිරාවරණය වුවහොත් මෙය පිළිකාමය ගැටිත්තක් ඇති වීමේ අවදානම වැඩි කළ හැකි බව ය. මන්ද මෙම හෝමෝන සෛල වර්ධනය උත්තේජනය කරන බැවිනි.

"හෝමෝනවලට දිගු කාලයක් නිරාවරණය වී තිබීම ප්‍රජනක පිළිකා හට ගැනීමට ඇති අවදානම වැඩි කරන බවට සමහර න්‍යායන් තියෙනවා," ඇය පවසයි.

ඇති විය හැකි සමාජයීය බලපෑම් ද තිබේ. එස්කෙනාසි පෙන්වා දෙන්නේ, කලින් වැඩිවියට පත්වන ගැහැනු දරුවන් කලින් ලිංගිකව ක්‍රියාශීලී වීමට ද ඉඩ ඇති බව ය. "ගබ්සාව නීතිවිරෝධී බවට පත්වීමේ සහ උපත් පාලන ක්‍රම නොමැති වීමේ භායනක ප්‍රවණතාවක් එක්සත් ජනපදයේ තියෙනවා," ඇය පවසයි. "ඒක තවත් අනවශ්‍ය නව යොවුන් ගැබ් ගැනීම්වලට තුඩු දෙන්න පුළුවන්. ඒ නිසා මේ හැම සාධකයක් ම එකට එකතු වෙනවා කියන්නේ ඉතා භායනක තත්ත්වයක්."

නමුත් මේ ආකාරයට ළමා වර්ධනය වේගවත් වන්නේ ඇයි?

ස්ථූලභාවයේ සිට වායු දූෂණය දක්වා

වැඩිවිය පැමිණීමේ ආරම්භය හයිපොතැලමික්-පිටියුටරි-අධිවෘක්ක (HPA) සහ හයිපොතැලමික්-පිටියුටරි-ගොනඩල් (HPG) අක්ෂ ලෙස හඳුන්වන ශරීරයේ පුළුල් පරාසයක සන්නිවේදන කෘත්‍ය ඉටු කරන ජාල දෙකක් මගින් පාලනය කරනු ලැබේ. ඒවා කුසගින්නේ සිට උෂ්ණත්ව යාමනය දක්වා විවිධ අත්‍යවශ්‍ය ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කරන මොළයේ හයිපොතැලමස් නම් කලාපය, විවිධ හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථි සමග සම්බන්ධ කරයි.

ගැස්කින්ස් පවසන්නේ, මීට වසර 10 සිට 20 දක්වා කාලයකට පෙර විද්‍යාඥයන් උපකල්පනය කළේ, නොමේරූ වැඩිවිය පැමිණීමට එක ම හේතුව ළමා ස්ථූලභාවය බව ත්, ඇඩිපොකයින් නම් මේද සෛල මගින් නිපදවන ප්‍රෝටීන් HPA සහ HPG අක්ෂ උත්තේජනය කිරීමේ කාර්යභාරයක් ඉටු කරන බව ත් ය. "මෑතකදී තමයි මිනිස්සු 'ඕහ් ඒකෙන් හැමදේ ම පැහැදිලි වෙන්නේ නැහැ, ඊට අමතර වෙනත් සාධකත් තියෙන්න ඕනේ," වගේ හිතන්න පටන් ගත්තේ," ඇය පවසන්නීය.

ඒ වෙනුවට, පසුගිය වසර තුන තුළ අධ්‍යයනයන් ගණනාවක් තවත් පුදුමසහගත හේතුවක් පෙන්වා දී ඇත. ඒ, වායු දූෂණය වේ.

IQAir දර්ශකයට අනුව ලෝකයේ වඩාත් ම දූෂිත නගර 100 අතරට සෝල්, බුසාන් සහ ඉන්චොන් ශ්‍රේණිගත කිරීමත් සමග මෙම පර්යේෂණ බොහොමයක් දකුණු කොරියාවේ විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබ ඇත. සෝල්හි Ewha Womens University විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සමාලෝචනයක සඳහන් වන්නේ, විවිධ දූෂකවලට නිරාවරණය වීම සහ වැඩිවිය පැමිණීම කලින් ආරම්භ වීම අතර සම්බන්ධයක් ඇති බව අවස්ථා කිහිපයකදී ම හඳුනා ගෙන ඇති බව ය.

වාහනවල වායු විමෝචනය හෝ නිෂ්පාදන කම්හල් මගින් නිපදවන අපද්‍රව්‍ය හරහා වාතයට මුදා හරිනු ලබන සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ ඕසෝන් වැනි විෂ වායු වෙත ඊට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වෙයි. 2022දී, ගල් අඟුරු දහනය කරන කර්මාන්තශාලා බහුල වීම හේතුවෙන් වාතයේ ගුණාත්මකභාවය අඩු රටක් ලෙස ප්‍රසිද්ධ පෝලන්තයේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී එනම්, කාන්තාවන් 1,257ගේ දත්ත පරීක්ෂා කර, නයිට්‍රජන් වායුවලට වැඩි වශයෙන් නිරාවරණය වීම සහ වයස අවුරුදු 11ට පෙර සිදුවන ඔසප් වීම අතර සම්බන්ධයක් සොයා ගැනිණි.

ඇතැම් විට ඊටත් වඩා සැලකිල්ලට භාජනය කළ යුතු කාරණය වන්නේ, සියුම් අංශු පදාර්ථ (PM) එනම්, පියවි ඇසට නොපෙනන තරම් කුඩා අංශු ඉදිකිරීම් ස්ථානවල සිට ලැව්ගිනි, බලාගාර, වාහන එන්ජින් සහ දූවිලි සහිත, තාර නොදැමූ මාර්ග දක්වා වන ප්‍රභවයන්ගෙන් වාතයට මුදා හැරීම ය. 2023 ඔක්තෝබර් මාසයේදී, ගැස්කින්ස් සහ සිය සගයන් විසින් එක්සත් ජනපදයේ වෙසෙන ගැහැනු දරුවන් ඔවුන් මවගේ ගර්භාෂය තුළ සිටින අවධියේදී සහ ළමා කාලය තුළදී මයික්‍රෝන 2.5ට අඩු විෂ්කම්භයක් සහිත අංශු, එනම් PM2.5 සහ PM10 අංශු ඉහළ ප්‍රමාණයකට නිරාවරණය වන බවට ත් ඔවුන්ගේ පළමු ඔසප් වීම අඩු වයසේදී සිදුවීමට වැඩි ඉඩක් ඇති බවට ත් සොයා ගන්නා ලදී.

"PM2.5 අංශු ඉතා පහසුවෙන් රුධිර ප්‍රවාහයට ඇතුළු විය හැකියි," ගැස්කින්ස් පවසයි. "ඔබ ආශ්වාස කිරීමේදී ඒවා පෙනහලු තුළට ඇතුළු වන අතර සමහර විශාල අංශු වගේ ඒවා පෙරී ඉවත් වෙන්නේ නැහැ. එවිට ඒවාට විවිධ අවයව වෙත ළඟා විය හැකි යි. සමහර PM2.5 අංශු වැදෑමහ, භ්‍රෑණ පටක, ඩිම්බ කෝෂවල එකතු වන බව අපි දැකලා තියෙනවා. ඒවා හැම තැනකට ම යන්න පුළුවන්."

ගෘහස්ථ වායු සාම්පලවල ඇති අංශු මිශ්‍රණ භාවිතයෙන් සිදු කරන ලද අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ, මෙම සියුම් අංශු තුළ අඩංගු රසායනික ද්‍රව්‍ය වර්ධනයට සම්බන්ධ විවිධ හෝමෝනවලට, විශේෂයෙන් ඇන්ඩ්‍රොජන් සහ ඊස්ට්‍රජන්වලට සංවේදී ග්‍රාහක සමග අන්තර් ක්‍රියා කළ හැකි බව ය. මෙය වැඩිවිය පැමිණීමේ ආරම්භයට තුඩු දෙන දාම ප්‍රතික්‍රියාවක් ඇති කළ හැකි ය.

"ඒක තමයි අපේ මූලික උපකල්පනය වුණේ. ඒ කියන්නේ PM2.5 අංශු වෙත වැඩි වශයෙන් නිරාවරණය වුණු ගැහැනු ළමයින් ඊස්ට්‍රජන් වගේ ක්‍රියා කරන හෝ සාමාන්‍යයෙන් එම HPA අක්ෂය සහ එහි සාමාන්‍ය සංඥාවලට බාධා කරන රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වී ඇති අතර, ශරීරය කලින් වැඩිවිය පැමිණීමට පොළඹවනවා කියන එක," ගැස්කින්ස් පවසයි.

ඒ අතර ම, නොමේරූ වැඩිවිය පැමිණීමට බලපාන වෙනත් විවිධ සාධක ද තිබිය හැක. ගැස්කින්ස් යෝජනා කරන්නේ, PM2.5 සහ අනෙකුත් දූෂක සම්බන්ධයෙන් මතුවෙමින් පවතින සාක්ෂි යනු, ශරීරයේ හෝමෝනවල සැලකිය යුතු වෙනස්කම් ඇති කරමින් හානිකර පාරිසරික රසායනික ද්‍රව්‍ය ශරීරය විනිවිද යන ආකාරය පිළිබඳ එක් උදාහරණයක් පමණක් බව ය.

"කලින් වැඩිවියට පැමිණෙන ගැහැනු ළමයින් සිත්ගන්නාසුලු කණ්ඩායමක් වන්නේ, හෝමෝන ක්‍රියාවලීන්ට බාධා කරන රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමේ තවත් ප්‍රධාන මාර්ගයක් විධියට පෞද්ගලික සත්කාර නිෂ්පාදන හඳුනා ගත හැකි නිසා," ගැස්කින්ස් පවසයි. "ගොඩක් සමාගම් හරි ක්‍රියාශීලිව මේ වයස් කාණ්ඩය පස්සේ ගිහින් ඔවුන්ට මේ නිෂ්පාදන අලෙවි කරනවා."

සමස්තයක් වශයෙන්, එස්කෙනාසි පවසන්නේ, ක්ෂුද්‍ර ප්ලාස්ටික් සහ දේශගුණික විපර්යාස වැනි සාධකවල කාර්යභාරය බොහෝ දුරට නොදන්නා පසුබිමක අපගේ වෙනස්වන ලෝකය සහ මෙම උච්චාවචනයන් ළමා සංවර්ධනයට බලපාන ආකාරය අතර ඇති සංකීර්ණ සම්බන්ධය පිළිබඳව තවමත් අප නොදන්නා බොහෝ දේ ඇති බව ය.

"මම හිතන්නේ අපි තාම ඉන්නේ අයිස් කුට්ටියේ උඩ කෙළවරේ," ඇය පවසයි. "අපි දන්නේ නැහැ උණුසුම් දේශගුණික තත්ත්ව ඔසප් චක්‍රයට හෝ සමාජ සාධකවල කාර්යභාරයට, ගැහැනු ළමයින් ඉක්මනින් වැඩීමට බලපෑම් කරන්නේ කොහොම ද කියලා. නමුත් මෙම ප්‍රවණතාවය සැබෑ එකක්, සහ එය පාරිසරික රසායනික ද්‍රව්‍ය, තරබාරුකම සහ මනෝ සමාජයීය ගැටලුවල බහුසාධක සංයෝජනයක් විය හැකි යි වගේ ම, ඒවා අඩු වයසින් මල්වර වීමට සම්බන්ධ වෙනවා."


උපුටා ගැනීම BBC වෙබ් අඩවියෙන්