විෂ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක කරමින් සිටින යුක්තිය මෙහෙයුමට සමගාමීව නීති විරෝධි ලෙස උපයාගත් ධනය පොලිස් භාරයට ගන්නා ආකාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දී මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.
මේ සම්බන්ධයෙන් මෑතකාලීන සමාජය තුළ වැඩි කතාබහක් ඇති වුයේ නිරූපණ ශිල්පිනියක වන පියුම් හංසමාලි ගේ වත්කම් සම්බන්ධව ආරම්භ වූ විමර්ශනයත් සමඟම ය.
කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරයේ දී සෑම විටම ජාවාරම්කරුවන්ට මෙන්ම දේශපාලකයන්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියට ද චෝදනා එල්ලවන අතර පැනමා සහ පැන්ඩෝරා පේපර් ලෙස ලෝකය පුරා මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ පුද්ගලයන් ගැන හෙළිදරව් කළ අවස්ථාවේ දී මෙරට දේශපාලකයන් හා ඔවුන්ගේ පවුල්වල අයවලුන් ද ඊට සම්බන්ධ යැයි හෙළි විය.
අයථා ක්‍රමවලින් මුදල් හා වත්කම් ඉපයීම සම්බන්ධව සමාජයේ කතා බහක් ඇති වී තිබෙන මෙවන් මොහොතක කලු සල්ලි සුදු කිරිම හෙවත් මුදල් විශුද්ධිකරණය පිළිබඳව මෙන්ම ඒ හරහා රටේ ආර්ථිකයට වන බලපෑම් සම්බන්ධයෙන් බීබීසි සිංහල සොයා බැලීමක් කළේය.
මුදල් විශුද්ධිකරණය සිදුවන අකාරය, එහි රුදුරු බව, ලෝක ආර්ථිකයට සහ බැංකු වල පැවැත්මට ඒවා බලපාන අකාරය හොඳින් පෙන්නුම කරන රූපවාහිනී නාට්‍යමාලාවක් වන්නේ Ozarkය.
කළු සල්ලි කියන්නේ මොනවාද? සුදු කරන්නේ කොහොමද?
ත්‍රස්තවාදී ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ලබා ගැනීම හෝ සූදු වැනි අයථා ක්‍රම මඟින් උපයා ගන්නා මුදල් කළු සල්ලි ලෙස හඳුන්වනු ලබයි. එම මුදල් කළු සල්ලි ලෙස හඳුන්වනු ලබන්නේ ඒවා ඉපැයු ආකාරය නෛතික නොවන නිසාවෙනි.
ඉපැයු ආකාරය නීත්‍යානූකූල නොවීම හේතුවෙන් මෙසේ අයථා ලෙස උපයා ගන්නා අති විශාල මුදල් තම බැංකු ගිණුමක් වෙත බැර කර ගැනීම හෝ නීත්‍යානුකූලව ඉපැයු මුදල් ලෙස පෙන්වීම අසීරු ය.
එහෙයින් මුදල් විශුද්ධිකරණය කරනු ලබන අතර එය බරපතල මූල්‍ය අපරාධයකි.
මූල්‍ය පද්ධති ආරක්ෂා කිරීමට, ආර්ථික ස්ථාවරත්වයට සහාය වීමට සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමට මුදල් විශුද්ධිකරණයට එරෙහි පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.
මුදල් විශුද්ධිකරණයේ අවසන් අදියර ලෙස විශුද්ධිකරණය කරන ලද මුදල් නීත්‍යානුකූල අරමුදල් ලෙස මුල්‍ය පද්ධතියට හඳුන්වා දෙනු ලැබේ.
කළු සල්ලි සුදු කරන විශුද්ධිකරණය
එසේ නීත්‍යානුකූල නොවන ක්‍රියාවලින් ලබාගත් මුදල් ඉපැයු මූලාශ්‍රය වසන් කරමින් එය නීත්‍යානුකූලව මුල්‍ය පද්ධතියට එකතු කිරීම මුදල් විශුද්ධිකරණය යි. මූල්‍ය පද්ධතියට තම අයථා ඉපැයීම් ඒකාබද්ධ කිරීම මෙම ක්‍රියාවලිය මගින් සිදු කෙරේ.
නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් සැකයෙන් තොරව භාවිතා කිරීමට මෙන්ම නීතියෙන් බේරී සිටීමට මුදල් විශුද්ධිකරණය අත්‍යවශ්‍ය වන අතර එය ක්‍රම කිහිපයක් ඔස්සේ සිදු කරනු ලබයි.
විශාල මුදලක් කුඩා ප්‍රමාණයේ මුදල් වශයෙන් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම, විදේශීය මුදල් සඳහා උන්ඩියල් වැනි ක්‍රම මගින් මුදල් හුවමාරු කිරීම, විවිධ රටවල විවිධ ගිණුම් අතර මුදල් හුවමාරුව, දේපළ වෙළඳාම්, සුඛෝපභෝගී මෝටර් රථ හෝ ස්වර්ණාභරණ වැනි ඉහළ වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගැනීම, පවතින හෝ අලුතින් ආරම්භ කරන ලද නීත්‍යානුකූල ව්‍යාපාරයකට නීති විරෝධි ලෙස ඉපැයු මුදල් ආයෝජන කිරීම වැනි ක්‍රම මුදල් විශුද්ධිකරණයට යොදා ගැනේ.
මුදල් විශුද්ධිකරණයේ අවසන් අදියර ලෙස විශුද්ධිකරණය කරන ලද මුදල් නීත්‍යානුකූල අරමුදල් ලෙස මුල්‍ය පද්ධතියට හඳුන්වා දෙනු ලැබේ.
ආර්ථියකට බලපෑමක් වෙන්නේ කොහොමද?
මුදල් විශුද්ධිකරණය රටක මුල්‍ය පද්ධතියට දැඩි හානි පමුණුවන අතර ආර්ථිකයට ද ඉන් බලපෑම් සිදුවේ.
එමෙන්ම අයාථා ලෙස උපයා ගත් මුදල් සම්බන්ධව කිසිඳු වාර්තාවක් නොමැති වීම නිසාවෙන් උද්ධමනය, ආයෝජන මට්ටම් සහ දළ දේශීය නිෂ්පාදිතය වැනි ආර්ථික සංඛ්‍යාලේඛන විකෘති කළ හැකි අතර ඉන් රටේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය විකෘති වන අතර එමඟින් රජයන්ට ඵලදායී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද අපහසු වේ.
මුදල් විශුද්ධිකරණයට බොහෝ විට බදු පැහැර හැරීම් ඇතුළත් වන අතර, එය රාජ්‍ය සේවා සහ යටිතල පහසුකම් සඳහා භාවිත කළ හැකිව තිබූ රාජ්‍ය ආදායම අහිමි වීමට හේතු වේ. ඉන් රටේ ආර්ථිකයට සෘජු බලපෑම් සිදුවේ.
නීත්‍යානුකූල ව්‍යාපාරවලට විශුද්ධිකරණ මුදල් මගින් අරමුදල් සපයන ව්‍යාපාර සමඟ තරග කිරීම දුෂ්කර විය හැකි අතර, වෙළඳපොල තරගකාරිත්වය විකෘති කිරීමට සහ අවංක ව්‍යාපාර වෙළඳපොලෙන් පලවා හැරීමට ද මෙය හේතුවක් විය හැකිය.
දුර්වල මුදල් විශුද්ධිකරණ පාලනයක් ඇති රටවල් ජාත්‍යන්තර සම්බාධකවලට මුහුණ දීමට සිදුවිය හැකි අතර, ගෝලීය මූල්‍ය වෙලඳපොලට ඔවුන්ගේ ප්‍රවේශය අඩු කර ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් කළ හැකිය.
නීති සහ දඬුවම් මොනවාද?
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට හා එම අපරාධයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් පැමිණවීමට පනත් දෙකක් යොදා ගනිමින් නීති සම්පාදනය කර ඇත.
ඒවා නම් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත සහ 2006 අංක 6 දරන ගනුදෙනු වාර්තා කිරිමේ පනතයි.
ඊට අමතරව 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත මගින් ද විශුද්ධිකරණය වැළැක්වීමට සෘජු දායකත්වයක් ලබා දෙනු ලබයි.
මුදල් විශුද්ධිකරණයට මහාධිකරණය මගින් වරදකරුවෙකු කරන තැනැත්තෙකුට දඩ මුදලක් පැනවීම හෝ බන්ධනාගාරගත කිරිමේ හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය.
වරද කරන ලද්දේ යම් දේපළක් සම්බන්ධයෙන් ද, ඒ දේපළෙහි වටිනාකමට නොඅඩු විය යුතු හා ඒ දෙපළෙහි වටිනාකමට තුන් ගුණයකට නොවැඩි දඩයකට යටත් කළ හැකිය.
එමෙන්ම අවුරුදු 5කට නොඅඩු හා අවුරුදු 20ක් නොඉක්මන කාලයකට බරපත වැඩ සහිතව බන්ධනාගර ගත කිරීමට මෙරට නීතියේ ප්‍රතිපාදන සලසා ඇත.
බී.බී.සී සිංහල වෙබ් අඩවියෙන් උපුටා ගැනුනි.